Home » CIA ලොක්කා හොරෙන්ම ලංකාවට ඇවිත් ගියාද ?

CIA ලොක්කා හොරෙන්ම ලංකාවට ඇවිත් ගියාද ?

by Nirodha Gamage

පසුගිය පෙබරවාරි 14 වැනි දා ගුවන් තොටුපලට දැඩි ආරක්ෂාවක් යොදමින්, කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය ජනතාවට තහනම් කරමින් ලංකාවට පැමිණියේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ (CIA) ප්‍රධානියා දැයි උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් දොස්තර ජී. වීරසිංහ මහතා විමසයි.
ඒ මහතා මෙසේ ප්‍රශ්න කළේ බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වීරසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

පහුගිය 26 වැනිදා කොළඹ නගරයේ පැවැත්වුණු, නිර්ධය ලෙස මර්දනය කරනු ලැබූ විරෝධතා ව්‍යාපාරයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා මිය ගියා. මුලින්ම අපි මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා උත්තර ලංකා සභාගය හැටියට ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ පවුලේ ඥාතීන්ටත්, ජාතික ජන බලවේගයටත් උත්තර ලංකා සභාගයේ සංවේගය ප්‍රකාශ කරන්න. ඒ වගේම ආණ්ඩුව ගෙනියන මේ මර්දනකාරී පිළිවෙත පරාජය කරන්නට සියලු ප්‍රජාතන්ත‍්‍රවාදී බලවේග එක්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය නැවත නැවතත් උත්තර ලංකා සභාගය විසින් මේ අවස්ථාවේදී අවධාරණය කරනවා.

නූලන්ඩ්ගේ ආගමනය

අපි දැක්කා මෑත කාලය තුළ විවිධ මට්ටම්වල ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් නිතර නිතර මේ රටට එන යන බවක්. අපි දැක්කා පහුගිය 2021 අවුරුද්ද අවසාන හරියේ යුගදනවි බලාගාරය, කෙරවලපිටිය තියෙන යුගදනවි බලාගාරයට ද්‍රව වායුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ අවස්ථාවේ මේකට බලහත්කාරයෙන් වගේ ඇතුල් කරනවා ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති සමාගමක්. ඊට පස්සේ දිගින් දිගටම අපිට පේනවා ඇමරිකානු මැදිහත්වීම අපේ රටේ විදුලිබල හා බලශක්ති කේෂ්ත්‍රයට. ඒ වගේම වික්ටෝරියා නුලන්ඩ් අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය, ලංකාවට ආවා ජනවාරි මාසයේ අන්තිම හරියේ. වික්ටෝරියා නූලන්ඩ් කියන්නේ ඉතාමත්ම කුප්‍රසිද්ධ කාන්තාවක්. මොකද ඇයගේ මැදිහත්වීමෙන් ලෝකයේ බොහෝ රටවල යම් යම් දේවල් සිදුවුණා. මෑත කාලීනව හොඳම උදාහරණය තමයි ඇයගේ මැදිහත්වීමෙන් යුක්රේනයේ ඇති කරපු තත්ත්වය. මයිඩාන් කුමන්ත්‍රණය නිසා ඇතිවූ සිදුවීම් මාලාව. ඊට පසුව යුක්රේනයේ රාජ්‍ය බලය වෙනස් කිරීම. රාජ්‍ය බලය වෙනස් කරලා අද රුසියාව සමග ගැටුම්කාරී තත්වයකට ගෙන එන්න බලපාපු තත්ත්වය සහ අද ගැටුම පවා ඒකේ තීව්‍රතාවය පවත්වා ගෙන යන්නට කෙලින්ම මැදිහත් වුණු ඇමරිකානු යුදකාමී මුහුණුවර. එහෙම නැත්නම් ඇමරිකානු මිලිටරි කර්මාන්ත සංකීර්ණයේ නියෝජිතවරිය තමයි වික්ටෝරියා නූලන්ඩ්.

රහස් ගමන

ඒ මහත්මිය ඇවිල්ලා ගියා පහුගිය ජනවාරි මාසයේ. ඊට සුමාන දෙකකට පස්සේ ලංකාවේ තව අපූරු සිදුවීමක් වෙනවා. ජෙඩීටර් රෝයල් කියලා මහත්මයෙක් ඔහු නැවත වතාවක් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂක කටයුතු පිළිබඳව ප්‍රථම සහකාර ලේකම්වරයෙක් විදියට ක්‍රියා කරන පුද්ගලයා මොහු ලංකාවට එනවා පෙබරවාරි මාසේ 14 වැනිදා රාත්‍රියේ. එන්න කලින් දවස් තුනක් 12, 13, 14 දවස් තුන කටුනායක ගුවන්තොටුපල දැඩි ආරක්ෂාවක් යොදවලා, ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා මේ පුද්ගලයා එනවා ගුවන් යානා දෙකකින්. ඒවා සිවිල් ගුවන් යානා නෙවෙයි. ඒවා ආවට පස්සේ ඔහු ඇතුළු කණ්ඩායම සාමාන්‍ය මිනිස්සු එන විශේෂ අමුත්තන් පවා එන ආගමන විගමන මාර්ග ඔස්සේ එන්නේ නැතිව ගුවන් යානයෙන් එළියට අරගෙන අති විශේෂ අමුත්තන්ගේ පිටවීමේ දොරටුවෙන් එවුන් පිට කරගෙන, අධිවේගි මාර්ගය වහගෙන කොළඹට එනවා. ඇවිල්ලා ඔවුන් සාකච්ඡා කිහිපයක් පවත්වලා පසුව රටින් පිට වෙනවා. මෙතැන ප්‍රශ්න කීපයක් තියෙනවා. එක, ඔවුන්ට මේ ආගමන විගමන නීතිරීති මුකුත් බලපෑවේ නෑ. රටට ඇතුල් වෙනවා. ඊළඟට ගුවන්තොටුපලේ අති විශේෂ අමුත්තන්ගේ පිටවීමේ දොරටුවෙන් පිටත් වෙනවා. අධිවේගී මාර්ගය වහලා මේ රටට එනවා. සාකච්ඡුාවෙන් පස්සේ පිටවෙලා යනවා.

අවසර කොහෙන්ද?

දැන් මේකෙන් ප්‍රශ්න ගොඩක් ඉතුරු කරනවා. මේකේ පළවෙනි ප්‍රශ්නය, මේ පිරිසට මෙහෙම රටට ඇතුල් වෙන්න දින කීපයක ඉඳලා මෙහෙම විශාල ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක යොදන්න හේතුව කුමක්ද? දෙක, ඔවුන්ට ආගමන විගමන නීති රීතීන් බලපාන් නැතුව ගුවන් යානයෙන් එළියට අරගෙන අති විශේෂ අමුත්තන්ගේ දොරටුවෙන් එළියට ආවාද? එහෙම ගත්තා නම් ඒ ඇයි? ඊළඟ ප්‍රශ්නය තමයි අධිවේගී මාර්ගය වහගෙනද මෙයාලා කොළඹට ආවේ? එහෙම ආවේ ඇයි? අධිවේගී මාර්ගය වහගෙන මේ රටට එන්න තරම් මොකක්ද ඒ තිබිච්ච තත්ත්වය? ඒ වගේම ඔවුන් සාකච්ඡා පැවැත්වූවේ මේ රටේ කවුරුන් සමගද? කළ සාකච්ඡා මොනවාද? සාකච්ඡාවට බදුන් වු කාරණා මොනවාද? ඔවුන් යම් එකඟතාවලට ගිවිසුම්වලට ආවාද? ආවනම් ඒ මොනවාද? මේ සංචාරය පිළිබඳව මේ සිදුවෙච්ච සාකච්ඡා පිළිබඳව මේ රටේ ජනතාව කරුණු දැන නොගත යුතුද? මේ මහා විනිවිදභාවය ගැන ප්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශාල වශයෙන් කතා කරන ඇමරිකානු එක්සත් ජනපදය ඔවුන් මේ රටට ඇවිල්ලා මේ කරන කටයුතු ඒ රටේ ජනතාවටවත් දැනගන්න සලස්වන්නේ නැද්ද? ඔවුන් කතා කරන ඒ මහා ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය ආදී කතන්දර පුස්සක් බවට පත්වෙනවා නේද?

සෝෆා ගිවිසුම?

වීසා නැතුව ඇමරිකානු යුද හමුදාවලට රටට ඇතුල් වෙන්න අවසර දෙන වැඩපිළිවෙලක් තිබුණා ඒක තමයි අර සෝෆා ගිවිසුම. ඒ ගිවිසුමට අත්සන් කරන්න හදද්දි විශාල විරෝධයක් ඇවිල්ලා ඒක අත්සන් කරන්න බැරි වුණා. ඒ ගිවිසුම හරහා ඕන වෙලාවක රටට එන්න අවි ආයුධ ගේන්න ගිවිසුමට අනුව පුළුවන්. ඒ ගිවිසුම අපි දන්න තරමට තාමත් අත්සන් කරලා නෑ වගේ රටට කියන්නේ. හැබැයි ඒ ගිවිසුමෙන් දෙන්නට නියමිත වරප්‍රසාද දැනටමත් ඇමරිකානු හමුදාවන් භුක්ති විඳින බවක් තමයි අපිට මේ සංචාරයෙන් පේන්නේ. එහෙම ගියාම අපිට හිතෙනවා මේ සෝෆා ගිවිසුමට ආණ්ඩුව රටට කියන්නෙත් නැතුව එළඹිලාද කියලා. මේ සියලුම දේවල් අතර අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි ජේඩීටර් රෝයල්ගේ මූලිකත්වයෙන් ආපු මේ කණ්ඩායම ඇතුලේ ඇමරිකාවේ CIA ආයතනයේ අධ්‍යක්ෂක විලියම් බර්න්ස් හිටියද නැද්ද ප්‍රශ්නය. අපි අහන්නේ අද ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා කරමින් ඉන්නවා මේ විලියම් බර්න්ස් ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය අපි කවුරුත් දන්න CIA ආයතනය. මේ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් තවත් රටකට යන්න තිබුණා. මාධ්‍ය වාර්තා කරනවා, ලංකාවට ඇවිල්ලා තමයි පෙබරවාරි මාසයේ 15 වැනිදා මේ නේපාලයට යන්න නියමිතව සිටියේ කියලා.

ත්‍රිකුණාමල වරාය

එහෙම නම් අපිට සැකයක් මතු වෙනවා ජේඩීටර් රෝයල්ගේ මේ කණ්ඩායම ඇතුලේ හිටපු ලොක්කා ඇත්තටම CIA ආයතනයේ අධ්‍යක්ෂකවරයාද? කරුණාකරලා මේක මේ රටට කියන්න. ඊළඟට ඒගොල්ලන්ට මොනවද අවශ්‍ය මේ රටෙන් කරගන්න. අපි අහන ප්‍රශ්නය තමයි ත්‍රිකුණාමලේ වරායේ යුද කඳවුරක් බිහි කිරීමද ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ? ඉන්දියානු සාගරයේ තියෙනවා යුද කඳවුරක් ඩියෝගාෂියා කියලා ඇමරිකාවේ. මේ කඳවුරෙන් ඉවත් වන්න කියලා ජාත්‍යන්තර අධිකරණයකින් ඇමරිකාවට නියෝග කරලා තියෙනවා දැන් අවුරුද්දකට කලින්. ඒක නිසා මොවුන් දැන් සුදුසු ස්ථානයක් ඇමරිකානු හමුදා ස්ථානගත කිරීම සඳහා සොයමින් ඉන්නවා. මේකට මේ ඉන්දියානු සාගරයේ ත්‍රිකුණාමල වරාය තරම් ගැලපෙන තවත් තැනක් නෑ.

ඒක නිසා අපි මේ රටට ප්‍රකාශ කරනවා ඇමරිකාව ත්‍රිකුණාමලයේ යුධ කඳවුරක් පිහිටුවීමට ක්‍රියා කරමින් ඉන්නවා කියලා. ඒක මේ රටේ ජනතාව දැනගත යුතුයි. ඒක නිසා මේ රටේ ඇමරිකානු යුද කඳවුරු ඉදිකිරීමට ඉඩදෙන්න බැහැ. උත්තර ලංකා සභාගයේ අපි කිසිසේත් ඇමරිකාවට යුද කඳවුරු පිහිටුවන්න මේ රටේ ඉඩ දෙන්නේ නැහැ. අන්න ඒ අරගලයට මේ රටේ ජනතාව එක්විය යුතුයි කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරනවා. මේක තමයි අපේ නිදහස් සටන. ඇමරිකාවට අපේ රට යටත්කර ගන්නට දෙන්නට බෑ. යටත් විජිතයක් බවට පත් කරගන්නට දෙන්න බැහැ.

ත්‍රිකුණාමලය යුද කඳවුරක් පිහිටුවීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ උත්තර ලංකා සභාගයේ අපිට විතරද? ජාතික ජන බලවේගයට, සමගි ජන බලවේගයට මේක ප්‍රශ්නයක් නොවේද? අන්න ඒ ප්‍රශ්නය අවසාන වශයෙන් නැවත වතාවක් මතු කරමින් ඔවුන් කෙසේ ක්‍රියා කළත් ලංකාවේ ඇමරිකානු යුද කඳවුරක් පිහිටුවීමට අපි ඉඩ දෙන්නේ නැහැ කියන දේ ප්‍රකාශ කරමින් අන්න ඒ අරගලය වටා එකතු වෙන්න කියලා මේ රටේ සමස්ත අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී, ප්‍රගතිශීලී, වාමවාදී බලවේගයන්ට ආයාචනය කරනවා.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions