Home » සිප්පි කට්ටෙන් මුහුද හිස්කිරීමට වෙර දරන Pub Add ලේකම් ………

සිප්පි කට්ටෙන් මුහුද හිස්කිරීමට වෙර දරන Pub Add ලේකම් ………

by Nipuna Fernando

කුඩා දරුවකු විසින් වැල්ලේ හාරන ලද කුඩා වලකට සිප්පි කටුවකින් වතුර පුරවනු දැක ඒ අසලින් ඇවිද යමින් සිටි සාන්ත ඔගස්ටීන් පියතුමා දරුවාගෙන් විමසන්නේ ” දරුව ඔබ කුමක් කරන්නෙහිද? පියතුමනි, මා මුහුද හිස් කරනවා යනුවෙන් දරුවා පිළිතුරු දෙයි. දරුව, ඔය කුඩා වල මුහුදේ තිබෙන ජලකඳ පිරවීමට ප්රමාණවත් නොවෙයි” යනුවෙන් පියතුමා පිළිතුරු දෙයි. මෙය වර්ෂ 415 දී සිදුවූ සිද්ධියක් බව කතෝලික පුස්තක වල සඳහන් වෙයි.

රාජ්ය පරිපාලන ආමාත්යංශයේ ලේකම්ගේ අත්සනින් අංක 04/2022 චක්රලේඛය මගින් රාජ්ය නිළධාරීන් හට සමාජ මාධ්ය හරහා අදහස් ප්රකාශ කිරීම සීමා කිරීම/තහනම් කිරීම හරියට ඉහත කතාවේ කුඩා දරුවා මුහුද හිස්කිරීමට ගන්නා උස්සාහයට වැඩි වෙනසක් නැත.

ඔහු මේ සඳහා ආයතන සංග්රහයේ පළමු කාණ්ඩයේ XXXI පරිච්ඡේදයේ 3:2 උපවගන්තිය, දෙවන කාණ්ඩයේ XLVII පරිච්ඡේදයේ 6 සහ 7 වගන්ති සහ රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කොට ඇති 04/2015 චක්රලේඛ කෙරෙහී නිළධාරීන්ගේ අවධානය යොමු කොට ඇත. අරුමය නම් , මෙතෙක් කිසිදු රාජ්ය සේවකයෙක් හෝ පරිපාලන සේවා සංගමය හෝ වෙනත් සංගම් මේ සම්බන්ධව විරෝධයක් හෝ අදහස් දැක්වීමක් කර නොතිබීමයි. ඔවුන් චක්රලේඛයට හොඳටම බිය වී ඇති බවක් පෙන්නුම් කරන්නේ මට විතරද?

රටක රාජ්ය සේවයට/සේවකයාට වල්බූරු නිදහසක් තිබිය යුතුය කියන ස්ථාවරයේ මම නොසිටිමි. යමෙක් රාජ්ය සේවයට එකතු වන්නේ තම සේවා වපසරිය පිළිබඳ දැනගෙනයි. නැතහොත් , භාවිතයෙන් , පුහුණුවෙන්, අත්දැකීමෙන් ඉගෙන ගත යුතුයි .එයට සූදානම් නොමැති නම් රාජ්ය සේවයට නොපැමිණ සිටීම වඩා යහපත් ය. එහෙත් ගැටළුව එය නොවෙයි. මෙම 04/2022 චක්රලේඛය රාජ්ය සේවා කොමිෂන් සභාවේ බලතල හා කාර්යන් සමග ගැටීමයි.

රාජ්ය පරිපාලන ලේකම් වරයා ඔහුට නොමැති බලයක් ආරෝපණය කරගෙන ඇති බව මාගේ හැඟීමයි. මන්ද , 17 වන ව්යවස්ථා සංශෝධනය මගින් යලි පිහිටුවන ලද රාජ්ය සේවා කොමිෂන් සභාවේ බලතල දක්වන 55 (3) ව්යවස්ථාව අනුව රජයේ නිළධරයන් පත්කිරීම , උසස් කිරීම, මාරු කිරීම, ඔවුන් විෂයෙහි විනය පාලනය සහ ඔවුන් සේවයෙන් පහකිරීම රාජ්ය සේවා කොමිෂන් සභාව වෙත පැවරෙන්නේය යනුවෙන් සඳහන් කොට ඇත. එසේනම්, රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම්ට රාජ්ය නිළධාරීන්ගේ විනය පිළිබඳ චක්රලේඛ නිකුත් කිරීමට ඇති බලය ප්රශ්න කල යුතු නොවේද ?

57(1) ව්යවස්ථාව අනුව රාජ්ය සේවා කොමිසම විසින් නිස්චිතව නියම කරන යම් ගණයක රජයේ නිළධරයන් පත්කිරීමේ, උසස් කිරීමේ, ස්ථාන මාරු කිරීමේ, ඔවුන් විෂයෙහි විනය පාලනය කිරීමේ සහ සේවයෙන් පහකිරීමේ බලතල කොමිෂන් සභාව විසින් තීරණය කරණු ලැබිය හැකි යම් කොන්දේසි හා කාර්ය පටිපාටිවලට යටත්ව කොමිෂන් සභාව විසින් රාජ්ය නිළධාරීයෙකුට පවරා දෙනු ලැබිය හැක්කේය. තවද 57 (2) ව්යවස්ථාව අනුව එවැනි යම් පවරාදීමක් අදාල පටිපාටීන් ද ඇතුළුව ගැසට් පත්රයේ පලකිරීමට කොමිෂන් සභාව කටයුතු සැලැස්විය යුත්තේ ය යනුවෙන් ව්යවස්ථාවේ සඳහන් වෙයි. එහෙත් , කිසිදු අවස්ථාවක රාජ්ය පරිපාලන ලේකම්ට බලය පැවරුණු එවැනි ගැසට් පත්රයක්, කොටසක් හෝ ඡේදයක් උපුටා දක්වා නොමැත. එසේනම් උපකල්පනය කල හැක්කේ ලේකම් වරයා ඔහුට එසේ බලයක් ඇත කියා සිතාගෙන මෙම චක්රලේඛය නිකුත් කලා විය හැක.

රාජ්ය සේවා කොමිසම මෙහිදී ගැසට් පත්රයක් මගින් ප්රස්තුත කාරණය සම්බන්ධව රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම් හෝ වෙනත් නිළධරයකු වෙත බලය පවරා දුන් බවක් ප්රසිද්ධ මාධ්යක හෝ සමාජ මාධ්යක කිසිවෙක් දැක තිබේද ? අසා තිබේද ? එසේනම් ඉදිරිපත් කරන ලෙස මා ඉල්ලා සිටිමි.

එහෙයින් , රාජ්ය පරිපාලන ලේකම් සෘජුව හෝ වක්රාකාරව කොමිෂන් සභාවේ කටයුතු කෙරෙහි අනිසි බලපෑමක් කොට ඇත්ද යන්න විමසා බැලිය යුතු නොවේද ?

බැලූ බැල්මට රාජ්ය පරිපාලන අමාත්යාංශ ලේකම් ව්යවස්ථාවේ 61ඇ (1) ව්යවස්ථාව උල්ලංඝනය කොට ඇති බවත් එසේ කොට ඇත්නම් ඔහුට විරුද්ධව 61(2) ව්යවස්ථාව අනුව මහාධිකරණයක නඩුකරයක් ගොනුකළ හැකි බවත් ඔබගේ දැනගැනීමට ලියා තබමි. එහිදී ඔහු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු හතක් නොඉක්මවන කාලයකට බන්ධනාගාරගත කරණු ලැබීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් වන්නේය. එහෙත් , මා ප්රිය ශිෂ්ය ප්රියන්ත මායාදුන්නේට එසේ නොවේවායි මා ප්රාර්ථනා කරමි.

කිසිවෙක් මෙතෙක් මෙවන් කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන්නේ “දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නෙමි” යන ආදර්ශයට අනුව වත්ද?

ආයතන සංග්රහයේ දැනට ක්රියාත්මක 1වන කාණ්ඩය නිකුත් වන්නේ පිළිවෙලින් 1985.09.01 වන දින හා 2013.07.08 දින සිටයි. මෙහි පළමු වෙළුම නිකුත් වූයේ 1972.01. 01 වන දිනයි. එමෙන්ම , දෙවන කාණ්ඩය නිකුත් වන්නේ මුලින්ම 1974 වන අතර අද ක්රියාත්මක වන වෙළුම නිකුත් වන්නේ පිළිවෙලින් 1981.04.08 සහ 1999.08.02 වන දින සිටයි(https://pubad.gov.lk). සමාජ මාධ්ය කරලියට එන විට , ආයතන සංග්රහය සම්පාදනය වී අවසන්ය. සමාජ මාධ්ය ගැන හෝ ස්මාට් ජංගම දුරකථන ගැන හිතීමට ආයතන සංග්රහය සංශෝධනය කිරීමට මැදිහත් වූ බී. ජී. කරුණාරත්න වැන්නන් දැන නොසිටින්නට ඇති. එහි අඩංගු යම් කරුණු සහ ලිපි ආකෘති සකස් කිරීමේදී මාගේ අදහස් විමසූ බවද මතකය.

හිටපු ජනාධිපති සිරිසේනට පිං සිද්ධ වන්නට VPN භාවිතය තරුණ තරුණියන් අතර ජනප්රිය වූ බවද කිව යුතුය. තාක්ෂණය සීඝ්රයෙන් දියුණු වන වකවානුවක හද්දා පරණ ලේඛන වෙනුවට අදට ගැලපෙන ආයතන සංග්රහයක් (Establishment Code) සහ මූල්ය නීති සංග්රහයක් (Financial Regulations) දැන්වත් සකස් කරගත යුතු නොවේද ? එසේ නොමැතිව , සිප්පි කටු න්යාය අනුගමනය කිරීමෙන් රාජ්ය සේවකයාගේ කට වැසිය නොහැකිය.

ආණ්ඩුව කරවන අවුරුදු පහකට බලයට එන හොර දේශපාලකයින්ගේ දූෂණ, වංචා, කොමිස් ගැන කතා කිරීම රාජ්ය නිළධාරීන්ට අකැපය. ඒ හොරකම් වීමට ඉඩ දී බලා සිට අවසානයේ කෝප්, කෝපා කමිටු වලදී රෙදි ගැලවෙන්නේ ඔය කට වසාගෙන සිටින රාජ්ය නිළධාරීන්ගේය. එසේ හොරකම් කල ඇමැති වරුන් හා මන්ත්රීවරුන් එකී කමිටු වල සාමාජිකයන් වී හොරකම් පිළිබඳ අදාල නිළධාරීන්ගෙන් ප්රශ්න ඇසීම සහ එම නිළධාරීන් හොරු ලෙස හංවඩු ගැසීම විඳ දරාගෙන ඔහේ රාජකාරිය කර ගෙදර යනව හැර වෙන මොනවා කරන්නද කියා රාජ්ය නිළධාරීන් මේවන විට හිත හදාගෙන වත්ද? කවදා හෝ හොර දේශපාලකයින් දෙන වැරදි නියෝග ක්රියාත්මක කොට, සමහර විට මහ උළුගෙදර රීප්ප ගනින්නට සිදුවන්නේද කට වහගෙන සිටින රාජ්ය නිළධාරීන්ටමය. සිල් රෙදි නඩුව ඊට කදිම උදාහරණයකි. රාජ්ය නිළධාරීනී, ඔබලාගේ නිශ්ශබ්ධතාවය එක්තරා ආකාරයකට හොරකමට අනුබල දීමක් ලෙස යම් දිනෙක අර්ථ දැක්විය හැකි බවද සිහි තබා ගන්නේ නම් මැනවි.

ශාන්ත ජයරත්න
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය
රෙඩින් විශ්වවිද්යාලය එංගලන්තය
ජ්යෙෂ්ඨ උපදේශක (හිටපු )
ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
(SLIDA ) 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions