Home » සංක්‍රාන්ති ලිංගිකයින් ගැන ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් 9ක්

සංක්‍රාන්ති ලිංගිකයින් ගැන ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් 9ක්

by Nirodha Gamage

සංක්‍රාන්ති ලිංගිකයන් සමග කටයුතු කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියට පොලිස්පතිවරයා විසින් උපදෙස් 9 ක් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම උපදෙස්ය,

1. සංක්‍රාන්ති ලිංගිකයින් හෝ විවිධ ලිංගික විපර්යාසයන්ට ලක්වූ තැනැත්තෙකුගෙන් ලැබෙන පැමිණිලි (විශේෂයෙන්ම අංග චලනයෙන් හෝ වාචිකව තැනැත්තෙකුට ශාරීරිකව හෝ මානසිකව සිදුවුණ පීඩා ද ඇතුළත්ව) හා එවැනි තැනැත්තෙකුට එරෙහිව ලැබෙන පැමිණිලි අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂක/ ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ ඒකකය මගින් විමර්ශනයට ලක් කළ යුතුය.

2. එවැනි පැමිණිල්ලක් සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් අදාළ මූලස්ථාන පොලිස් පරීක්ෂක/ ස්ථානාධිපති විසින් ඒ පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ නියෝජ්‍ය පොලිස්පති හෝ එම කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත හෝ දැනුම් දී උපදෙස් අනුව විමර්ශන කළ යුතුය.

3. එවැනි විමර්ශනයක් අවසන් වීමෙන් පසුව අධ්‍යක්ෂ/ නීති කොට්ඨාසය වෙත ගොනු යොමුකර එම උපදෙස් අනුව නඩු පැවරීම හෝ විමර්ශනය අවසන් කර ගොනුව වසා තැබීම කළ යුතුය.

4. යම් වරදක් සම්බන්ධව සංක්‍රාන්ති ලිංගික හෝ විවිධ ලිංගික විපර්යාසයන්ට ලක්වූ තැනැත්තෙකු අත්අඩංගුවට ගතහොත් අවස්ථාවෝචිතව නිලධාරියකු හෝ නිලධාරිනියක විසින් විනීතභාවය පිළිබඳව නිසි සැලකිල්ලෙන් යුක්තවම තැනැත්තා සෝදිසි කිරීම හෝ පරික්ෂා කිරීම කළ යුතුය.

5. එවැනි තැනැත්තෙකු අත්අඩංගුවේ රඳවා ගන්න අවස්ථාවේදී අවස්ථාවෝචිතව ආරක්ෂක මාතාවකගේ හෝ කාන්තා නිලධාරිනියකගේ භාරයේ තැබිය යුතු අතර කිසිදු අවස්ථාවක දී පොලිස් නිලධාරින් විසින් මෙවැනි තැනැත්තන් වාචිකව/ කායිකව හෝ යම් ශාරීරික හෝ මානසික පීඩාවට ලක් කිරීම හෝ අවමන් සහගත සැලකිල්ලට ලක් කිරීම නොකළ යුතුය.

6. පුහුණු ආයතනවල පවත්වන දේශනවලදී බාහිර දේශකයින් සහභාගි කරනු ලබන පුහුණු වැඩමුළු වලදී සංක්‍රාන්ති ලිංගිකයින් හා විවිධ ලිංගික විපර්යාසයන්ට ලක්වූ ලක් වූ තැනැත්තන් වෙනස්කමට හෝ කොන් කිරීමකට භාජනය වන ආකාරයේ දේශන පැවැත්වීම හෝ ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතුය. එවැනි කරුණු එම දේශනවල අන්තර්ගත නොකළ යුතු බවට දේශකයන් දැනුවත් කිරීම සහ ඉහත පරිදි කටයුතු කරන බවට වගබලා ගැනීම සෑම පුහුණු ආයතනයම/ ඒකකයකම ප්‍රධානියාගේ වගකීම විය යුතුය.

7. ඉහත සඳහන් කිසිම ප්‍රතිපාදනයකින් දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365අ, 365ආ සහ 365 ඈ වගන්තිය අනුව කටයුතු කිරීම වැළැක්වීම සිදු නොකරන අතර එසේ කටයුතු කිරීම සඳහා විධිමත් පැමිණිල්ලක් හෝ සාධාරණ කරුණු නොමැතිව මෙවැනි තැනැත්තන් අත්අඩංගුවට ගැනීම හෝ ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමේ අරමුණින් ගුද හෝ යෝනි පරීක්ෂාවන් සිදුකිරීම හෝ කිසිසේත් නොකළ යුතුය.

8. යම් අපරාධ අරමුණකින් තොරව සංක්‍රාන්ති ලිංගික හෝ විවිධ ලිංගික විපර්යාසයන්ට ලක් ව ඇති තැනැත්තෙකු තම ලිංගික විපර්යාසයන් සමාජයට වසන් කිරීම හේතුකොටගෙන පමණක් එවැනි තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගැනීම කිසිදු අවස්ථාවකදී නොකළ යුතුය.

9. උපත් පාලන පෙති, කරල් හෝ කොණ්ඩම් ළඟ තබාගැනීම වරදක් නොවන බැවින් එසේ ළඟ තබා ගැනීමේ හේතුව මත පමණක් කිසිදු තැනැත්තකු ප්‍රශ්න කිරීමකට ලක් කිරීම හෝ අත්අඩංගුවට ගැනීම නොකළ යුතු අතර එම හේතුව මත පමණක් එවැනි තැනැත්තෙකුට එරෙහිව “අයාල ආඥා පනත” යටතේ හෝ වෙනත් යම් නීතියක් යටතේද කටයුතු කිරීම ද නොකළ යුතුය.

 

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions