මේ වන විට අපේ රටේ ආරෝග්‍යශාලා පද්ධතියම කැළඹිලා. මීට පෙර දක්නට නොලැබුණූ වර්ජන රැල්ලක් හදිසියේ ඇති වෙලා. ඒකෙ බලපෑම අපේ පීඩාවට පත් ජනතාවගේ හිස මත කඩා වැටිලා.
ඉස්සෙල්ලම වර්ජනයට අවතීර්ණ වුණේ පරිපූරක වෛද්‍ය කාර්ය මණ්ඩලය. අද වනවිට අතුරු වෛද්‍ය කාර්යමණ්ඩලයත්, දෙකට බෙදිල හිටිය හෙද කාර්යමණ්ඩලයත් එකාවන්ව වර්ජනයට එකතු වුණා. කිසිදු වාදබේදයක් නැතිවම.
මේ හිටිඅඩියේ ඇතිවුණූ වර්ජනයට හේතුව කුමක්ද? මේ රටේ රජයේ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ප්‍රවාහන හා නිර්බාධක දීමනාව, ඩැට් අලෝවන්ස් එක රුපියල් 35,000කින් ඉහළ නංවා රුපියල් 70,000ක දීමනාවක් ඔවුන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනවාරි වැටුපේ සිට ලබාදීමට කැබිනට්ටුව තීරණය කිරීම. ඒ හා සමගම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ටත් දීමනා වැඩිවීමක් වුණා.
මේ ඩැට් දීමනාව මේ විදිහට වැඩිවෙන විට ඒ වෙනුවෙන් දීර්ඝකාලයක් මුළුල්ලේ සටන් කරපු වෛද්‍ය සංගම් රජයට තම ස්තූතිය පුද කරන්නට අමතක කළේ නෑ. හැබැයි ඊට පස්සෙ ඔවුන් අපේක්ෂා නොකළ සිදුවීමක් පෙළ ගැසුණා. පරිපූරක වෛද්‍ය කාර්යමණ්ඩලය පැය ගණනක් තුළ එක්දින සංකේත වැඩවර්ජනයක් සංවිධානය කළා. අවශේෂ වෘත්තීයවේදීනුත් මේ ගැන තම බලවත් අප්‍රසාදය පළ කරමින් විරෝධතාවයකට පෙළ ගැසුණා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රබල නිලධාරියෙක් මේ විරෝධතාවයට පිළිතුරු දුන්නෙ මෙහෙම. “නඩුකාරයින්ට පඩි වැඩි කරනකොට කාර්යාල කාර්ය සහායකයින් ඒක ඉල්ලන්නෙ නෑ. එහෙම ඉල්ලුවොත් ඒක විහිළුවක්. අපි තමයි මේකෙ නායකයො.”
තවත් වෛද්‍ය සංගමයක්, ඒ දෙවෙනි සංගමය, කොයි වැඬේට ගියත් ප්‍රධාන සංගමේ විවේචනය කරනවා. ඒත් මෙවර ඔවුන්ගේ නායකයා අරගොල්ලන්ට එකතු වෙලා මෙහෙම තදබල ප්‍රකාශයක් කළා. “වෛද්‍යවරුන්ට පඩි වැඩි කළා කියල වැසිකිලි හෝදන අය ඒ පඩිය ඉල්ලන එක වැරදියිනේ.”
මෙවන් අප්‍රසන්න කුණු කතා මාධ්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවූ මේ අසහනය, කැළඹීම ගැන, යමක් කතා කරන්න සුදුසුය කියල මම හිතුවා. මොකද? මේ හැලහැප්පිලි වලින් අවසානයට දුක් විඳින්නෙ අපේ රටේ ජනතාව. පවතින රජයේ ජනපීඩක තීන්දු හේතුවෙන් දැනටමත් අපේ බහුතරයක් ජනතාව ඉමහත් ව්‍යසනයකට පත් වෙලයි ඉන්නෙ.
හොඳයි, අපි මේ ගැන කතිකාවත ආරම්භ කරමු.
මේ රට බංකොලොත්ය කියල ලෝකය ඉදිරියේ ප්‍රකාශ කළාට පස්සෙ අපේ ජනතාව කබලෙන් ලිපට වැටුණා. අවම ජීවන මට්ටමක් තිබුණු සාතිශය බහුතරයක් ජනතාවට එදා වේල පවා නැති වුණා. දරුවන්ට කැඳ කෝප්පයක් වත් දෙන්න බැරි වුණා. රජයේ සේවයේ හිටි අය වගේ පහළ මධ්‍යම පාන්තිකයන්ටත් ආර්ථික කඩාවැටීම තදේටම දැණූනා.
ඒ අස්සේ රජය මොකක්ද කළේ? භාණ්ඩාගාරය හිස් වුණාට පස්සෙ ආයාත, නිර්යාත ගණූදෙණූ දුර්වල වුණාට පස්සෙ, තෙල් ටිකක් වත් ගන්න සල්ලි නැති වුණාට පස්සෙ මේ ආණ්ඩුව කළේ බදුපීඩනය සම්පූර්ණයෙන්ම ජනතාව පිට දැමීම.
ඒත් එහෙම කළා කියලත් ජනතාවට කරන්න කියල දෙයක් තිබුණෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධයක් ප්‍රකාශ කරන් පාරට ආවත් ඒ ජනතාව දැඩි මර්ධන යාන්ත්‍රණයකට ලක් වුණා. රජයේ සේවකයන්ටත් ජීවන බර හොඳටම දැනෙන්න වුණා. ඒ අතරේ උපයන විට ගෙවන මාදිලියේ බදු බරට රජයේ වෛද්‍යවරුන්, විශ්ව විදාල ආචාර්යවරුන් වගේම මේ රටේ උගත් වෘත්තිකයන් සියළු දෙනාම හසු වුණා.
සමස්තයක් විදිහට රටේ ජනතාව මේ පීඩාවන් ඉදිරියේ උකටලීව සිටියත් වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සංවිධානාත්මක සටනක නිරත වුණා. ඔවුන් කිසියම් කේවල් කිරීමේ බලයක් තිබීම ඊට පහසුවක් වුණා. ඔවුන්ගේ තේමාව වුණේ බදු බර ඔස්සේ ඔවුන්ගේ කරමත කඩා වැටුණූ පීඩනයෙන් ඔවුන් වහාම ගලවාගෙන ආර්ථික යුක්තිය තමන්ට ඉටු කරණූ යන්නයි. මෙහෙම ගියොත් තමන්ගෙ සාමාජිකයන් සියළු දෙනාම රට හැර යන බවට ඔවුන් කළේ තර්ජනයක්.
වෛද්‍යවරුන්ට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීම අවශ්‍යයි. ඒත් මේ රටේ ඉස්සෙල්ලම ආර්ථික යුක්තිය ඉටු කරන්න ඕනි බඩ පොත්තට ඇළුණු මන්දපෝෂිත දරුවන් ඉන්න පවුල්වලට, ජීවිතයේ සැදෑ සමයේ කුසට අහරක් නැතිව දුක් විඳින අපේ රටේ වෘද්ධ දිලින්දන්ට. අසරණයන්ට, දුප්පතුන්ට. හඩක් නැති අයට.
දොස්තරලා වැඩි පඩි ඉල්ලුවාට සෞඛ්‍ය සේවයේ වෙනත් කිසිම වෘත්තිකයෙක්, කණ්ෂ්ඨ කාර්මණ්ඩල සාමාජිකයෙක් වැඩි පඩි ඉල්ලුවෙ නෑ. ජනතාව දිනෙන් දින ආර්ථික වශයෙන් පල්ලම් බහිත්දි රජයෙන් වැඩි පඩි ඉල්ලුවොත් ඒක ආර්ථිකයට දරාගන්න බැරි බව තේරුම් යන සාමාන්‍ය බුද්ධියක් ඔවුනට තිබුණා. වෙන දෙයක් අපි ඔක්කොටොම. ඔවුන් එහෙම හිතන්න ඇති.
සෞඛ්‍ය සේවයේ රැකියා සඳහා විදේශගත වීම් අවස්ථා තියෙන්නෙ වෛද්‍යවරුන්ට විතරක් නොවෙයි. හෙදියන්, පරිපූරක වෛද්‍ය කාර්යමණ්ඩල වගේම ඇතැම් අතුරු වෛද්‍ය සේවාවන්ටත් නොසිඳෙන විදෙස් ඉල්ලුමක් තියෙනවා. වෛද්‍යවරුන් වගේම ඔවුන්ගෙත් පුලුවන් අය ගියා. තවමත් විදේශයන්ට යනවා. ඒත් මේ වෛද්‍යවරුන් වගේ “පඩි වැඩි කළේ නැත්නම් අපි යනව” කියල ඔය කවුරුත් තර්ජනය කළේ නෑ.
වෛද්‍ය සංගම් හැම තිස්සෙම තර්ජනාංගුලියෙන් මේ රටේ ජනතාවට කියපු තවත් දෙයක් තමයි වැඩියෙන්ම මේ රටේ සෞඛ්‍ය සේවයේ හිඟ වෛද්‍යවරුන්ය කියන කාරණය. ජනාධිපතුමාගෙ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සාක්ෂි සහිතව ඔප්පු කළා මේ රටේ වැඩියෙන්ම හිඟයක් තියෙන්නෙ විකිරණ නිලධාරින්ගෙ, පරිපූරක වෘත්තීය සේවාවන්ගෙ කියල. ඒත් කොයි වෙලාවක වත් ඒ අය අපිට වැඩි වරප්‍රසාද දුන්නෙ නැත්නම් අපි රට යනව කියල තර්ජනය කළේ නෑ.
එක් වෛද්‍ය සංගම් නායකයෙක් කිව්ව සෞඛ්‍ය සේවයේ ලොක්කො කියන්නෙ වෛද්‍යවරුන් කියල. කාර්යාල කාර්ය සහායකල වගේ පිළිගැනීමක් තියෙන උන්දැල වෛද්‍යවරුන් ඉල්ලන දේ ඉල්ලන එක විහිළුවක් කියලත් කිව්ව. හිරිකිතයක් නැතිව ප්‍රසිද්ධියේම. පළවෙනි කාරණය රටේ සෞඛ්‍ය පද්ධතියේ නායකත්වය තියෙනව කියන ඔය කණ්ඩායම තමන්ගෙ අවශේෂ කාර්යමණ්ඩල වලට සළකන පහත් ආකාරය ඇත්තෙන්ම හිරිකිතයි නායකත්වයේ ලක්ෂණ ගැන බෝධීසත්ව චරිත කතාවල සඳහන් වෙනවා. අනිත් අයත් එක්ක තමයි ඉස්සරහට යන්නෙ. අනිත් අයට දීලල තමයි තමන්ට බෙදා ගන්නෙ. සහානුකම්පාව කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපනයේ විදුහුරු සිද්ධාන්තයක්. තවත් කෙනෙක්ගේ දුක තේරුම් ගෙන ක්‍රියා කිරීම කියන එක තමයි එහි සරළ අර්ථය. ඔන්න ඉතින් අපේ නායකගොල්ල කියන අය ඒ නායකත්ව ගුණාංග පවත්වාගෙන යන විදිහ.
ඔය කියන විදිහට සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තීන් ගැලපෙන්නෙ කක්කුස්සි හෝදන එකට නම් ඔය හෙද සේවාවන්, රසායනාගාර සේවාවන්, එක්ස්රේ, එම්ආර්අයි මෙකී නොකී රාජකාරීත් වෛද්‍ය උත්ත්මයන්ටම කරගන්න බැරුවයැ.
අවුරුදු ගණනාවක් තිස්සෙම මේ සෙසු වෘත්තීන්ට උපාධි දෙන එකට කරපු කෙණෙහිළිකම් තාමත් වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය වෘත්තිකයන්ට අමතක වෙලා නෑ.
හැමදේටම බි්‍රතාන්‍ය ආකෘතිය, බටහිර ආකෘතිය අනුගමනය කරන්නට තැත් කරන ඔවුන් බරපතල ලෙස ඒ රටවල තියෙන වෘත්තය සමානාත්මතාවය අමතක කරල, ඒ ඔවුන්ගෙ වාසියට. මහා බි්‍රතාන්‍යයේ, වෙනත් බටහිර රටවල, ඇමෙරිකාවේ ඕස්ටේ්‍රලියාව හා නවසීලන්තයේත් සෞඛ්‍යය සේවයේ කොයි කාටත් තියෙන්නෙ සමාන පිළිගැනීමක්. ඖෂධවේදියාටත් ඉහළම කන්සල්ටන්ට් කෙනෙක්ගේ තනතුරක ඉන්න පුළුවන්. හෙදියටත් කළමණාකරුවෙකුගේ, කන්සල්ටන්ට් කෙනෙක්ගේ තැනට එන්න පුළුවන් විතරක් නොවෙයි එතැනදි දොස්තර, හෙදිය හා විකිරණනිලධාරියෙක් කියල වෙනසක් නෑ . සියළු සෞඛ්‍ය වෘත්තීන් වලට එකම විදිහේ ගෞරවයක් තියෙනවා. තරගකාරී වැටුප් ගෙවනවා. මේ වටිනා භාවිතයන් මේ රටේදි අමු අමුවේම උල්ලංඝනය වෙනවා.
තවත් කාරණයක් මතක් කරන්න වෙනව. ඉසුරු සොයා බටහිර රටවලට පැනගන්න බොහෝ දෙනා කාර් එකෙන් ගිහින් වැදගත් විදිහට ඒ රටේ කක්කුස්සි හෝදනවා. ක්ළීනින් ජොබ් කියන්නෙ ඒවට. ඒ වැඬේ කරපු අපේ වෛද්‍යවරුනුත් ඕනි තරම් ඉන්නවා. ඒක ලැජ්ජාවක් නොවෙයි. ඒක නිසා අපේ රටේ කක්කුස්සි හෝදන අය ඔබලා කිසි දවසක අවතක්සේරු කරන්න එපා.
මේ මෑතක ඉඳන් තමයි වෛද්‍යවරුන් හට ඩැට් දීමනාවක් ගෙවන්නෙ. එයත් අමාත්‍යංශ වෛද්‍ය පරිපාලනයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.
ඉස්සර වෛද්‍යවරුන්ට විධායක ශ්‍රේණියේ වැටුප් ව්‍යූහය හැරුණූ විට අද වගේ අරක, මේක කියල මහ ලොකු දීමනාවන් තිබුණෙ නෑ. ඒ කාලෙ වෛද්‍ය සංගමයේ මුල් පුටුවෙ හිටියෙ එවකට රටේ දේශපාලනයේ මුල් පුටුත් එක්කම ඉතා සමීපව කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍ය සංගමයට ආ දා සිටන්ම කළේ තමන්ගෙ වෛද්‍ය සගයන් හට අසීමාන්තික වාසි ලබා ගැනීමට කූට උපක්‍රම යෙදීම. ඔහු නිතරම කල්පනා කළේ කොටුවෙන් පැනල වැඩි යමක් එකතු කරගන්න විදිහ. රජයේ සේවයේ හැම දෙයක්ම වැඩි වෙන්නෙ සමාන ක්‍රමවේදයන්ට. අපි මේ ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනි. වෛද්‍යවරුන් සුවිශේෂී තැනක තියෙන්න ඕනි. වෙන කාටවත් ඉල්ලන්න බැරි දීමනාවක් අපි ඉල්ලන්න ඕනි. ඔය විදිහට කුමන්ත්‍රණය කරල තමයි වෛද්‍යවරුන්ට ඩැට් එක ලබාගන්න කටයුතු කළේ. එකල දේශපාලනය ඔවුන්ට පහසුවෙන්ම එය ඉටු කරල දුන්න.
රජයේ සේවයේ සමාන්තර විධායක ශ්‍රේණි තියෙනවා. පරිපාලන සේවය හා වෛද්‍ය සේවය මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්ය සේවය හැරුණූ විට අවශේෂ සමාන්තර ශ්‍රේණිත් මේ නිසා දැඩි අසාධාරණයකට ලක් වෙලා. ලොකු වැටුප් විෂමතාවයක් ඇති වෙලා.
ඩැට් එක කියන්නෙ ප්‍රවාහන හා නිර්බාධක දීමනාව. වෛද්‍යවරුන් විතරක් නොවෙයි සෞඛ්‍ය සේවයේ හැමෝම නිර්බාධකව කටයුතු කළොත් විතරයි පරිසමාප්ත සෞඛ්‍ය සේවයක් ලබා දිව හැක්කේ. පැය විසි හතරේ පොරොත්තු සේවය මේ දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරින්ටත් තියෙනවා. වෛද්‍යවරුන් අහනව නම් ඔයගොල්ලන්ට නැති දීමනාවක් තමයි අපි වැඩි කරගත්තෙ කියල අපිට අහන්න වෙනව ඒ දීමනාව අපටත් ලබාගන්න තියෙන නුසුදුසුකම මොකක්ද කියල.
හැන්ද තියාගෙන තනියෙන් බෙදාගන්න එක වෛද්‍ය සංගම්වල ආචීර්ණ කල්පිතඅවශ්‍යතාවයක්. මේ රටේ අනෙකුත් මිනිස්සු ගැන ඔවුන් තුට්ටුවකට මායිම් කරන්නෙ නෑ. ජරාජීර්ණ වූ මජර දේශපානයට මේ වෛද්‍ය සංගම් එකතු වෙලා තමයි මේ කුමන්ත්‍රණ කරන්නෙ. තමන්ට විතරක් බෙදා ගැනීමේ කලාව. ඒකෙ පියා තමයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය.
සෞඛ්‍ය සේවයේ මේ තමන්ට විතරක් ලොකුම හැන්දෙන් බෙදාගන්න හිරිකිත දේශපාලනය මෙතැනින් ඉවර වෙන්න ඕනි. වාසියට විතරක් වෛද්‍යකම භාවිතා කරන විශ්වීය සෞඛ්‍ය භාවිතයන් අමු අමුවේ උල්ලංඝනය කරන, කණපිට ගහන මේ වෛද්‍ය-දේශපාලන ඩීල් දැන්වත් අවසන් වෙන්න ඕනි.
සෞඛ්‍ය ලේකම්, සෞඛ්‍ය ඇමති වෛද්‍යවරුන්ම කරගෙන මේ විදිහට අනෙක් වෘත්තිකයන් කාර්යාල කාර්ය සහායකයන්, කක්කුස්සි සෝදන මිනිසුන් කියල හංවඩු ගහන ලැජ්ජාසහගත කතාබහට විරාමයක් ඕනි.
තවත් බොහෝ කරුණූ කාරණා මතකයට ආවත් ලිපිය අවසානයකට ආ යුතු නිසා සමාප්තියට මෙහෙම දෙයක් කියන්නම්.
ඔය දොස්තර සංගමේ දීමණා වැඩි කර ගැනීමේ කැම්පේන් එකේ තීම් එක වුණේ “වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කරනූ” යන්නයි. ඔය සංගමේ හිටපු මූලාචාර්යවරයෘ, නායකය තමයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගොවින්ගෙ පෝර ටික ගේන එක නවත්වන්න උපදෙස් දීල රට බංකොලොත් කරන්න පුරෝගාමී කාර්යභාරය ඉටු කළේ. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ගෝඨාභයට නැව් නගින්න වුණා. රට බංකොලොත් වුණා. වෛද්‍ය සංගමය උපක්‍රමික ටර්න් එකක් අරගෙන අර මූලාචාර්යගේ වැඩසටහන වෙන කට්ටියක්, ඒ කියන්නෙ දැන් ඉන්න අය දාගෙන ඔහුටත් වඩා වේගයෙන් තමන්ගෙ ඇජෙන්ඩා එක ක්‍රියාත්මක කළා.
රටේම ආර්ථිකය කාබාසිනිය කරල රටේ දුප්පතුන් ලක්ෂ සංඛ්‍යාවකට යන එන මං නැති කරන්න පාර කියපු වෛද්‍ය සංගමේ ලොකු මහත්තුරු රුපියල් 35,000කින් දීමනා ඉහළ නංවාගෙන තමන්ගෙ සාමාජිකත්වයට ආර්ථික යුක්තිය ඉටු කරගෙන.