Home » වෙනස් විය යුත්තේ දරුවන් නොව දෙමව්පියන් – ඇමති සුසිල් ප්‍රේමජයන්ත

වෙනස් විය යුත්තේ දරුවන් නොව දෙමව්පියන් – ඇමති සුසිල් ප්‍රේමජයන්ත

by Nirodha Gamage

දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට ඉවහල් විය යුතු අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විෂය මගින් ලබාගන්නා දැනුම ඉන් ඔබ්බට ගෙන ගොස් කුසලතා ඉස්මතු කර නව නිර්මාණකරුවන් බිහි කරන සුවිශේෂී අවස්ථාවක් වශයෙන් තර්ස්ටන් විද්‍යාලයීය ‘පර්සෙප්ෂන්ස් ‘23 (Perceptions ’23)’ චිත්‍ර ප්‍රදර්ශනය හැඳින්විය හැකි බව අද දින එම විද්‍යාලයේ පැවති චිත්‍ර තරග සහතික හා ත්‍යාග ප්‍රදානෝත්වයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ දිශානතිය වෙනස් විය යුත්තේ කුසලතා පූර්ණ දිශාවට බවත් ඉදිරියේ දී සිදු කරනු ලබන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් අපේක්ෂා කරනුයේ ද නිපුණතාවන්ගෙන් හෙබි සමබර දැනුමක් හා මානසික සංවර්ධනයක් ලබා සිටින නිර්මාණකරුවන් බිහි කරගැනීම බවත් ය.
අප දරුවන් අවශ්‍ය දැනුමින් සන්නද්ධ ව සිටින අතර ආකල්ප වෙනස් කළ යුතු ව ඇත්තේ දරුවන්ගේ නොව වැඩිහිටියන්ගේ බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. පාසල් අධ්‍යාපනයෙන් අතරමග නවතින දරුවන් සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමට ඊට අදාළ සියලු ආයතන හා සම්බන්ධීකරණයෙන් ක්‍රියා කරන බවත් සෑම දරුවකු ම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතු අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ ද පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කිරීම සඳහා ඔවුන් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට යොමු කිරීම බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

තවමත් අපට සමීප වීමට නොහැකි වූ නවීන ලෝකයේ මේ වනවිට ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන වැඩසටහන (STEAM Education) හෙවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂයන්ට එක් වූ සෞන්දර්යාත්මක විෂයන් ද සහිත අධ්‍යාපන ක්‍රමවේදය මෙරට නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයට අන්තර්ගත කිරීම සම්බන්ධයෙන් මාර්තු 31 වෙනි දා එක වර පළාත් 9 තුළ සමුළු 59ක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බව ද එහි ප්‍රධාන වැඩසටහන කොළඹ නව රඟහලේ පැවැත්වෙන බව ද අමාත්‍යවරයා පැවසී ය.

තොරතුරු තාක්ෂණ විෂයේ ඊළඟ අදියරට ප්‍රවේශ වී කෘත්‍රීම බුද්ධි විෂය ද දරුවන්ට උගන්වමින් නිපුණතාවලින් හෙබි නව නිපැයුම් කරුවන් බිහි කෙරෙන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ප්‍රායෝගිකත්වයට නැංවීම සඳහා ආර්ථික අභියෝග රැසක් හමුවේ වුව අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. තව ද උසස් පෙළ විභාගය ගැටලුවකින් තොර ව පැවැත්වීමට මෙන් ම පාසල් පෙළපොත් නිල ඇඳුම් ලබා දීම වැනි සුභසාධන සේවා විධිමත් ව හා අඛණ්ඩ ව ම පවත්වාගෙන යාමට ද මනා කළමනාකාරීත්වයක් තුළින් හැකි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

පසුගිය කාලයේ විවිධ ව්‍යසන හමුවේ පාසල් වසා දමා තිබූ කාලයේ සිදු වූ ඌනතා පූරණය කරමින් සිසුන්ගේ මානසික මට්ටම නඟා සිටුවීමේ නිර්මාණාත්මක ක්‍රමවේදයක් වශයෙන් ‘පර්සෙප්ෂන්ස් ‘23 වැනි චිත්‍ර තරගයක් සංවිධානය කර ඒ සඳහා සියලු ම ජාතික පාසල්වල සහභාගීත්වය ද ලබා ගනිමින් එහි වියදම් කළමනාකරණය කරගෙන විශිෂ්ට මට්ටමේ චිත්‍ර 1500කට අධික ප්‍රමාණයක් කොළඹ සෞන්දර්ය විද්‍යාලයේ ශාලා දෙකක ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම පිළිබඳ ව මෙහි දී එහි සංවිධායකයන්ට අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේ ය.

තර්ස්ටන් විද්‍යාලයීය චිත්‍ර කලා සංගමය මගින් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කළ අතර මාර්තු මස 2 සහ 3 යන දිනයන්හි දී සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ජේ. ඩී. ඒ. පෙරේරා ශාලාවේ දී මෙම ප්‍රදර්ශනය පැවැත්වේ. මේ අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ඇතුළු ගුරුභවතුන් හා සිසුහු සහභාගි වූහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions