Home » රනිල් රඟපාන්නේ විකටයෙකුගේ චරිතයක්

රනිල් රඟපාන්නේ විකටයෙකුගේ චරිතයක්

by Nirodha Gamage

 

රුපියල් මිලියන 1100ක හෙවත් බිලියන 1.1ක වැය බරකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කර ඇති බවත් ඒ නිසා තවදුරටත් මුදල් නැති බව ප්‍රකාශ කරමින් වංචා නොකර, මහජන මතය ප්‍රකාශ කිරීමේ සාමකාමී මාවත ආණ්ඩුව වහාම විවර කළ යුතු බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේ ද පැවසීය.

ඔබ කවුරුත් දන්නවා, නිදහස් ජනතා සන්ධානය බිහි වූයේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග. විවිධ අභියෝග ජය ගනිමින් අපි කඩිනමින් සන්ධානය ගොඩනඟා ගත්තා පමණක් නොවෙයි, පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කරමින්, ඔවුනට සක්‍රීය නායකත්වය දෙමින්, පුළුල් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළක නිරත වෙමින් සිටියදී තමයි මැතිවරණය කල් දැමීමේ කටයුතු සිදු වන්නේ. මැතිවරණය කල් දැමීමත් සමග මේ රටේ ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඇති බලාපොරොත්තුව දිනෙන් දින හීන වෙමින් යනවා.

අද අපේ ජන සමාජය බරපතළ ආර්ථික පීඩනයකට ගොදුරු වී තිබෙනවා. බඩු මිල ඉහළ යන විට, විදුලි බිල 60% -70%කින් වැඩිවන විට, රුපියල් ලක්ෂයකට වඩා වැඩියෙන් උපයන සෑම පුද්ගලයකුටම 30% – 40%ක බද්දක් ගෙවන්න සිදුවන විට සමාජයේ සෑම තරාතිරමකම පිරිස් දැඩි ආර්ථික අහේනියකට ලක් වීම සිදුවෙනවා. එම ආර්ථික අහේනියට ලක් වෙලා ඉන්න ජන සමාජයට අද ඊට අමතරව ජනාධිපතිවරයාගේ කෝලම් බලන්නත් සිදු වෙලා තිබෙනවා. රටේ ජනාධිපති ජනතාව පත්වෙලා ඉන්න පීඩාවට විසඳුම් දෙනවා වෙනුවට, පාර්ලිමේන්තුවට ඇවිත් කලිසම් සාක්කුවල අත්දෙක ඔබාගෙන ‘ඡන්දයකුත් නැහැ – ඡන්ද තියන්න සල්ලිත් නැහැ’ කියමින්, කැරකි-කැරකී විකට ජවනිකා පෙන්වනවා. අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න ජනතාව ඒ විකට ජවනිකා බලා ඉන්න සූදානම් නැහැ. අපි දන්නවා යුක්රේන ජනාධිපති වුණෙත් විකටයෙක්. ඔහු විකට රංගන ශිල්පියෙක්. රනිල් වික්‍රමසිංහ මහතා රංගන ශිල්පියකු නොවුණාට අද පාර්ලිමේන්තුවට ඇවිත් රඟ දක්වන්නේ විකටයකුගේ චරිතයක්. එයාගෙ ප්‍රේක්ෂකයන් වී සිටින්නේ පාර්ලිමේන්තුවේ සිටින පොහොට්ටු මන්ත්‍රීවරුයි. එක විකට ජවනිකාවක් රඟ දක්වලා, තමන් පිටිපස්සේ ඉන්න ඒ ප්‍රේක්ෂකයන්ගේ සිනාමුසු ප්‍රතිචාර දිහා බලලා, ඉන් උද්‍යෝගයට පත්වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තවත් විකට ජවනිකාවක් රඟ දක්වනවා. පාර්ලිමේන්තුව කියන්නේ මහජන බදු මුදලින් නඩත්තු වන තැනක්. ‘ඒ නිසා ජනතාව ගැන අබමල් රොනක හෝ හැඟීමක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට ඇවිත් ජනාධිපති විකට ජවනිකා රඟ දක්වන්නේ නෑ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions