Home » මොනරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන්

මොනරාගල දිස්ත්‍රික්කයේ නිෂ්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන්

by Nipuna Fernando

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර, විජලනය කරන ලද එළවලු හා පලතුරු අපනයනය කිරීම ආශ්‍රිත ව්‍යාපාර, ආරක්‍ෂිත ගෘහ තුල වගා කිරීමේ ව්‍යාපාර, පොල් සහ පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන යනාදී ව්‍යාපෘතීන් රැසක් සදහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන් ලබා දී ඇත. මෙමගින් ප්‍රදේශයේ අපනයන කෘෂිකර්මාන්තය සදහා දැඩි රුකුලක් ලබාදීමට හැකිවීම මෙම ව්‍යාපෘතිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එකී ව්‍යාපෘතීන් මගින් 400කට අධික සෘජු රැකියා උත්පාදනය සහ 5000කට අධිකව ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේත් ගොවි සංගම් වලත් අස්වනු ඉහල මිලකට මිලදීගැනීම සිදු කරයි. තවද, එම මිලදී ගත් අස්වනු අග‍යදාම සංවර්ධන ක්‍රියාවලින් ඔස්සේ අපනයන වෙළදපොල වෙත යොමු කිරීම සිදු කරනු ලබයි. 2020 වසරට සාපේක්ෂව, 2021 වසරේදී ඉහල අගයක් ගත් අපනයන ආදායම සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවින් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් නොමඳ සහයෝගයක් ලැබුණු බවට සැකහැර කරුණු ඉදිරිපත් කල හැකි වන්නේ, කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් ප්‍රදානයන් සිදු කරන ලද ව්‍යාපෘතීන් ඔස්සේ ලැබෙන ප්‍රතිඵල පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරන නිසාවෙනි.

මෙම ව්‍යාපෘතිය ලබා දුන් මූල්‍ය ප්‍රදානයන්හි සාර්ථකත්වය මැනවින් පිළිඹිබු වන ආයෝජනයන්ට බුත්තල කර්මාන්ත පුරයේ ස්ථාපිත සෙහානි දේශීය ඖෂධ සමාගම, ඇල්ල කැමිලොට් සමාගම, වර්ල්ඩ් සිලෝන් ඇග්‍රො හර්බල් සමාගම , සිබෝ ෆුඩ් සමාගම සහ සෙවනගල ආයුර්වේද සමාගම කදිම නිදසුන් ලෙස දක්නට ලැබේ. මේ අතුරින් දේශීය ඖෂධ පැළෑටි සහ දහසකට අධික දේශීය ඖෂධ වර්ග, අන්තර්ජාතික වෙළදපොළට සහ එහි ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි සකස් කොට දේශීය සහ අන්තර්ජාතික වෙළදපොළ වෙත යොමු කිරීම තම ව්‍යාපාර අරමුණ කරගත් ෂෙහානි දේශීය ඖෂධ සමාගම සිය දෙවන වර්ෂ පූර්ණයේදී ඍජු රැකියා අවස්ථා 100කට අධික ප්‍රමාණයක් බුත්තල ප්‍රදේශයේ පදිංචි රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා ලබා දීමට සමත්ව ඇත. එමෙන්ම, මොනරාගල, බුත්තල, වැල්ලවාය, සහ බදුල්ල, ආදී ප්‍රදේශ වල මුරුංගා, සහ දේශීය ඖෂධ පැළෑටි වගා කරුවන් 3000කට අධික පිරිසකගෙන් ඒවා එකතු කිරීම මගින් ඔවුන්ගේද අතමිට සරු හෙටක් උදෙසා මංපෙත් විවර කිරීමට ෂෙහානි සමාගමට හැකියාව ලැබී ඇත.

මීට අමතරව, අන්තර්ජාතික වෙළඳපොළට ගැලපෙන පරිදි නවීන අසුරුම්කරනයන්ගෙන් සහ විශේෂ තත්ත්ව සහතිකයන් යටතේ ඔවුන් විසින් සිදු කරනු ලබන නිෂ්පාදන වර්තමාන අපනයන වෙළඳපොළට මෙන්ම දේශීය ආයුර්වේද කර්මාන්තයටද යොමු වීමට බලාපොරොත්තුවන නව්‍ය ව්‍යවසායකයින් දිරිමත් කිරිමෙහිලා නොමසුරු කාර්යභාරයක් ඉටු කරයි. දේශීය ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්‍රයේ කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රදානලාභින් අතර ෂෙහානි සමාගම මෙන්ම සිංහරාජ හෙළ ඔසු සමාගම සහ සෙවනගල ආයුර්වේද සමාගම පෙරමුණ ගෙන කටයුතු කරන සමාගම් අතරේ දක්නට ලැබේ. කොවිඩ් වසංගත කාලය තුළ ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ “සුවධරණි” දේශීය අයුර්වේද පානය මෙම සමාගම් විසින් නිෂ්පාදිත ප්‍රකට නිෂ්පාදන අතර මුල් තැනක් ගනී. තවද, පොල් හා පොල් ලෙලි ආශ්‍රිත අගය දාම සංවර්ධන ව්‍යාපෘතීන් ලෙස ඇල්ල කැමිලොට් සමාගම හා සූර්යයා සුදු පොල්තෙල් ආයතනද සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් ප්‍රදේශයේ අවශ්‍යතා සපුරාලමින් තම ව්‍යාපාර කටයුතු සිදු කරමින් පවතී. අපනයන වෙළඳපොල හා ගෘහ ආශ්‍රිත වගාවන් සඳහා අවශ්‍ය කොහු හා කොහුබත් යනාදී නිෂ්පාදන දෙස් විදෙස් වෙළඳපොල වෙත සැපයීමද ඔවුන් විසින් සිදු කරනු ලබන ව්‍යාපාර අතර වේ. කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි 2017 වර්ෂයේ සිට මේ දක්වා දේශීය ව්‍යාපාරික ප්‍රජාව සදහා අවශ්‍යවන මූල්‍යමය ප්‍රතිපාදන සහ කෘෂි තාක්ෂණය ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සදහා විශිෂ්ට සේවාවක් සිදු කරමින් පවතී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions