Home » මුල් ලිපිගොණු නැතත් ඩයනාගේ පාස්පෝට් වරද සොයාගත හැකියි අධිකරණය කියයි

මුල් ලිපිගොණු නැතත් ඩයනාගේ පාස්පෝට් වරද සොයාගත හැකියි අධිකරණය කියයි

by Nirodha Gamage

ඩයනා ගමගේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදි ඇති ලේඛන අස්ථාන ගතවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කළ යුතු බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (02දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවසීය.

ඩයනා ගමගේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදී ඇති උප්පැන්න සහතික ඇතුළු ලේඛනවල මුල් පිටපත් නැතත් ස්කෑන් කළ ලේඛන ඇති බැවින් ඇයට එරෙහි නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යෑමට කිසිදු බාධාවක් නැති බව ද ඔහු පැවසීය.

1980 වසරේදී පමණ වෙනත් නමකින් විදේශ ගතවී ඇති ඇය පසුව බ්‍රිතාන්‍ය පුරවැසියකු ලෙස බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඩයනා ගමගේ නමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඇය ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදු කළේ දැයි නිශ්චිතව අනාවරණය කරගත හැක්කේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන ලේඛන පදනම්ව බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි නීතිඥ චානක සිල්වා මහතා අධිකරණයට පැවසීය.

ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව නිරීක්‍ෂණය වූයේ යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2021 වසරේ අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව මගින් කියා දී ඇති බැවින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් කරන්නැයි පැමිණිලිකාර ඕෂල ලක්මාල් හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මුල් පැමිණිලිකරුගේ නීතිඥවරයා කළ එම ඉල්ලීමට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විරෝධතාවය දැක්වූ අතර එහි දී එම ජනාධිපති නීතිඥවරයා හා නීතිඥ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි ගුණරත්න වන්නියාක මහතා හා සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර යන මහත්වරුන් අතර උණුසුම් කතාබහක් ඇති විය. කුමන තරාතිරමක නීතිඥවරයෙකු වුවද නීතිඥවරුන් තමන්ගේ තරම දැනගෙන නීතිඥවරුන් ලෙස හැසිරීමට වගබලා ගන්නා ලෙසට අවවාද කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නඩු කටයුත්ත කැඳවීම පසුවට කල් තැබීමට නියෝග කළේය.

ඇයගේ විදේශ ගමන් බලපත්‍ර විමර්ශන කටයුතු සඳහා භාරදෙන ලෙසට දැනුම් දී ඇතත් මේ දක්වා ඒ අනුව ඩයනා ගමගේ මහත්මිය කටයුතු කර නැතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවසීය. නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions