Home » මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පාර්ලිමේන්තු බලයට අභියෝග කිරීමක්

මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය පාර්ලිමේන්තු බලයට අභියෝග කිරීමක්

by Nirodha Gamage

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනකු විසින් පසුගිය තුන්වැනිදා නිකුත් කරන ලද අතුරු නියෝගය මඟින් පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා මෙසේ ද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එස්. සී. (එෆ්. ආර්.) ඉල්ලුම්පත් අංක 69/2023 හි, 2023 මාර්තු 3 වන සිකුරාදා

දිනැතිව සිදු කරන ලද අතුරු නියෝග මඟින් පැන නඟින බලතල හා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ අවධානයට යොමු කරන්නට කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව මඟින් පැන නඟින බලතල සහ වරප්‍රසාද උල්ලලංඝනය වන කල්හි, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ බලය පාර්ලිමේන්තුව සතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149 සහ 150 ව්‍යවස්ථා මඟින් (i) ඒකාබද්ධ අරමුදල ඇතුළුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුයි. (ii) ඒකාබද්ධ අරමුදලින් මුදල් ඉවත් කර ගත හැක්කේ මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුත් බලපත්‍රයක අධිකාරය යටතේ පමණක් වන අතර, (iii) බලපත්‍රයක් නිකුත් කළ හැක්කේ එම මුදල් රජයේ නියමිත සේවාවක් සඳහා යෙදවීමට පාර්ලිමේන්තුව විසින් ඡන්දය දී සම්මත කිරීමෙන් පමණකි. 2022 අංක 43 දරන විසර්ජන පනත මඟින් 2023 මුදල් වර්ෂයේ රජයේ ක්‍රියාකාරකම් සඳහා ඒකාබද්ධ අරමුදලට ලැබෙන බදු, අයබදු, වරිපනම් හා තීරුබදු සහ අනෙකුත් සියලුම ආදායම්වලින් මුදල් වෙන් කරනු ලැබ ඇත. එම පනතේම 7 වැනි වගන්තිය මඟින් පූර්වයෙන් අපේක්ෂිත තත්ත්වයට වඩා ආදායම් ලැබීම අඩුනම් කලින් බලය දෙනු ලැබූ වියදම් සීමා කිරීමේ බලය අමාත්‍යවරයා සතුවේ. එමෙන්ම 2003 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 3 වන වගන්තියට අනුව රජය පහත අරමුණු පිළිපැදිය යුතු වේ.

“(ආ) වෙනස් වන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලලට ගනිමින් රජය මුහුණ දෙන මූල්‍ය අවදානම් පිළිබඳ විචක්ෂණශීලී කළමනාකරණය.

(ඇ) රජයේ ණය අත්‍යන්ත මට්ටමට වැඩි නොකරන වියදම් සම්බන්ධ ප්‍රතිපත්ති සම්මත කිරීම.

10, 11 සහ 12 වගන්ති යටතේ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ ඇස්තමේන්තුගත හෝ මුදල් ප්‍රවාහයේ හිඟයක් පවතී නම් මුදල් විෂය භාර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව ප්‍රකාරව කියවන මෙම නීති හා මූල්‍ය රෙගුලාසි බලාත්මක කිරීමේදී රාජ්‍ය මූල්‍ය පාලනය කරන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිවයුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනකු විසින් නිකුත් කරන ලද අතුරු නියෝගය මඟින් මෙම නීති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට සහ පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනය ශුන්‍ය කිරීමට උත්සාහ දරනවා. එය රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති අනුල්ලංඝනීය බලතලවලට ද ඇඟිලි ගැසීමකි. අතුරු නියෝගය මඟින් 2023 වර්ෂය සඳහා සක්‍රිය අය වැය ඇස්තමේන්තු බලාත්මක කිරීමට අපේක්ෂා කරනවා. සක්‍රිය අය වැය ඇස්තමේන්තු නීතියක් හෝ නීතිමය ලේඛනයක් නොවේ. 2023 විස්ර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තුවට සහය වීම සඳහා වන සාරාංශයකි. මෙම අතුරු නියෝගය මඟින් පාර්ලිමේන්තු පනතක් එනම් 2022 අංක 43 දරන විසර්ජන පනත අභිභවා යමින් සක්‍රිය අය වැය ඇස්තමේන්තුවලට නෛතික වලංගුභාවයක් ලබාදීම අපේක්ෂා කරයි. මෙය රාජ්‍ය මූල්‍ය පිළිබඳ විචක්ෂණශීලි කළමනාකරණයට ද බලපෑම් කරනු ඇති අතර, එමඟින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ විධි විධාන උල්ලලංඝනය වේ.

6. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකියනු ලබයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් මුහුණ දෙන ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මේ වන විටත් කථානායකතුමා වෙත දන්වා ඇත. තවද මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් පැවැත්වීම සලකා බැලීම තේරීම් කාරක සභාවක් පත් කිරීමට වන යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත. එබැවින් මෙම කරුණු දැනටමත් පාර්ලිමේන්තුවේ විෂය පථයට ඇතුළත් වි තිබෙන කරුණු වන අතර, එවිට පාර්ලිමේන්තුවේ කටයුතු බවට පත්වන කරුණු වේ. මෙම අතුරු නියෝගය ලබාදීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කරුණ අධිකරණයේ අවධානයට යොමුකර ඇති අතර, එයින් පෙනී යන්නේ එම නියෝගය නිකුත් කළ ගරු විනිසුරුවරුන් එය නොසලකා හැර ඇති බවයි.

7. 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම්පත් ගණනාවක් ගොනුකර කර තිබුණි. මෙම ඉල්ලුම්පත් පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ගවලදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභා ග‍ෙවමින් පවතී. එම අධිකරණ ක්‍රියාමාර්ගවලදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමට නියමිතව ඇති එක් කරුණක් වන්නේ මුදල් නොමැතිකම පිළිබඳව භාණ්ඩාගාර ලේකම් විසින් සිදුකළ දිවුරුම් ප්‍රකාශයයි. මැතිවරණ කොමිෂන් සභාවේ නීතීඥයා විසින් එම දිවුරුම් ප්‍රකාශයට අදාළව ප්‍රතිචාර දැක්වීම සඳහා තවදුරටත් කල් ඉල්ලා ඇත. එවැනිම දිවුරුම් ප්‍රකාශයක් මෙම ඉල්ලුම්පතෙහි ගොනුකර ඇත. අතුරු නියෝගය මඟින් මෙම දිවුරුම් ප්‍රකාශය නොසලකා හැර ඇති අතර, එහි අන්තර්ගතය අනෙකුත් විනිසුරු මඬුල්ල විසින් සලකා බලනු ලැබේ. ‍

ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් විනිසුරු මඬුල්ලක් මෙම කරුණ නොසලකා හැර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත්නම් එය අධිකරණය අරාජිකත්වයට තුඩු දෙන ස්ථාපිත භාවිතයෙන් සම සම්මතයන් උල්ලංඝනය කිරීමක් වේ.

8. මැතිවරණ කොමිෂන් සභාව මෙම ඉල්ලුම්පත – එස් සී (එෆ් ආර්) ඉල්ලුම්පත් අංක 69/2023 හි පාර්ශ්වකරුවකු නොවේ. මැතිවරණ කොමිෂන් සභාව කිසිදු සම්බන්ධයක් නොමැතිව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු නියෝගය මඟින් ස්වාභාවික යුක්තියේ මූලධර්මයන් උල්ලංඝනය කරයි. මෙම අතුරු නියෝගය නිකුත් කළ එක් උගත් විනිසුරුවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග වන එවැනිම නඩුවක පෙත්සම්කරුවකුට සම්බන්ධය. මෙම උගත් විනිසුරුවරයා එම සම්බන්ධය හෙළි කර නොමැති අතර, ඔහු නඩුවෙන් ඉවත් වී නොමැත.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions