Home » මාලිමාවේ නිෂ්පාදන ආර්ථිකය ඇත්තටම සිහිනයක් ද? ශාන්ත ජයරත්නගේ ලිපිය

මාලිමාවේ නිෂ්පාදන ආර්ථිකය ඇත්තටම සිහිනයක් ද? ශාන්ත ජයරත්නගේ ලිපිය

by Plus One

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ශාන්ත ජයරත්න මහතා විසින් සටහන් කරන ලද “මාලිමාවේ නිෂ්පාදන ආර්ථිකය ඇත්තටම සිහිනයක් ද” ලිපිය පහත දැක්වේ.

ආර්ථිකයක් යනු සංකීර්ණ ක්‍රියාවලියකි. නිෂ්පාදනය (Production ), පරිභෝජනය (Consumption ) සහ බෙදා හැරීම (Exchange ) යන ප්‍රධාන අංශ තුන ප්‍රශස්ත ලෙස හැසිරවීම කාර්‍යකෂම ආර්ථිකයක එක් ප්‍රධාන වගකීමකි. මෙම ක්‍රියාවලිය සාධාරණ ලෙස සිදු නොවීම තුල රටක් කඩාවැටීමට අමතරව සමාජය ඉච්ඡාභංගත්වයට පත්වීම සහ දැඩි ලෙස අසහනයට සහ අවසානයේ කලහකාරී විමටද ඉඩ ඇත. මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නේ එයයි. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රටේ පාලකයන් 1977 සිට අනුගමනය කල කොල්ලකාරී ආර්ථික ප්‍රතිපත්තියයි. අවසානයේ ජනයාට උරුම කරදී ඇත්තේ ඩොලර් බිලියන 96ක ණය කන්දක්, බංකොලොත් රටක්, සහ අන්ත දරිද්‍රතායෙන් පෙළෙන මිලියන 7 ක් වු ජනගහනයක් (ජනගහනයෙන් 31% ක් ) ඉන්න රටක් පමණි. මින් ගැලවීමට තිබෙන එකම මග නිෂ්පාදන ආර්ථිකයක් කරා රට ගෙනයෑමයි.

විවෘත ආර්ථිකය මෙතරම් කොල්ලකාරි අන්දමට යොදා ගත් රටක් ලෝකයේ මෙතෙක් තිබුණු බවට සාක්ෂි නැත. රටේ සම්පත් අවභාවිතය හැරුණු කොට සමාජයේ හර පද්ධතීන් විනාශය කරා ගෙන ගොස් ඇත. මෙම ක්‍රමය කෙතරම් මිලේච්චද කිවහොත් කුරුණෑගල වැල්ලව ග්‍රාමයේ පියෙකු විසින් තම කුඩා දියණිය නිරුවත් කොට ඡායාරූප ගත කර අන්තර්ජාලය හරහා ඒවා විකුණා මුදල් උපයන තත්ත්වයට සමාජය පත් කොට ඇත. මෙම ආර්ථික ක්‍රමය අණ්ඩ දමා තවත් ඉදිරියටත් පවත්වා ගෙන යාමට කිසිවෙකුට හෝ ඉඩ දීමට සිහි බුද්ධිය තිබෙන ජනයාට සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද කියා ප්‍රශ්න කල යුතු ය.

ජාතික ජන බලවේගය නිර්මාණය වීමට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් ඔවුන් අවධාරණය කලේ ලංකාව වැනි කුඩා රටකට වඩාත් සුදුසු නිෂ්පාදන ආර්ථික මොඩලයක් බවයි (Production Economy). එහෙත් එවකට කිසිවෙකුට එය වැටහුණේ නැත. එහි අවසාන ප්‍රතිඵලය බිත්තරයත් ඉන්දියාවෙන් ආනයනය කරන තත්ත්වයට පත් වීමයි. වෙසක් කූඩුව , ජාතික කොඩිය, මකන රබර් කෑල්ල පවා චීනයෙන් ගේන්නට සිදුවීමයි. ජාතික ජන බලවේගය රජයක් තුල එවැනි දේ සිදු නොවනු ඇත.

1977 සිට මෙතෙක් ආණ්ඩු කල සහ කරන සියළු දේශපාලන පක්ෂ එජාපය , සජබ, ශ්‍රී ලනිප, පොහොට්ටු යන සියල්ල විශ්වාස කරන්නේ “නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමය” (Free Market Economy ) හෙවත් “විවෘත ආර්ථික මොඩලය” යි (Open Economy). ඔවුන් අවුරුදු 47 ක් එම ආර්ථික ක්‍රමය අනුගමනය කොට රට බංකොලොත් වීමෙන් පසු දැන් එයට සීනි තවරා “සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමය” (Social Market Economy ) තුල මේ අර්බුදයට විසඳුම් ලබා දෙන බව කියති. එයත් හරියට චන්ද්‍රිකා විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දෙන බව කිව්වා හා සමානය. තවත් ආකාරයකට ප්‍රකාශ කලහොත් සජබය සහ එජාපය “බුදු සරණයි” කියා බෝඩ් එකක් ඉදිරි පසින් අලවා ගෙන හොර හරක් පටවාගෙන යන පරන 911 ලොරියක් හා සමානය. මොවුන් සියල්ලෝම මෙම ආර්ථික හා සමාජ ව්‍යාසනයේ ප්‍රධාන විත්තිකරුවන් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව දල දේශීය නිෂ්පාදිතයේ දායකත්වය අනුව කෘෂි අංශය , කර්මාන්ත අංශය සහ සේවා ‍අංශය ලෙස ප්‍රධාන කොටස් තුනකට වෙන් කොට ඇත. මෙම අංශ තුනේ දායකත්වය පිළිවෙලින් වාර්ෂිකව දල වශයෙන් 8% ක්, 30% ක්, සහ 55% ක් ලෙස දැක්විය හැක. මෙම අංශ තුනේ දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ නන්වා ගැනීමට හොඳ විභවවතාවයක් රටේ ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා නිවැරැදි නායකත්වයක් සහ ඊට සරිලන වැඩපිළිවෙළකි. එය ජාතික ජන බලවේගය සතුව තිබෙන බව අවධාරණය කල යුතුය.

කෘෂිකර්මාන්තය යටතේ කෘෂි භෝග , වැවිලි භෝග, සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය යනාදිය ඇතුළත් ය. මේ අංශ සියල්ලම නගා සිටුවීමට අවශ්‍ය දිගුකාලීන ජාතික සැලැස්ම (National Plan) මේ වන විට ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති කමිටුව විසින් සකස් කොට ඇත. මේ දිනවල දිස්ත්‍රික්ක 25 ට අදාළ දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මද සකස් වෙමින් තිබෙන බව කිව යුතුය. ඉතා කෙටි කලක් තුල සියළු දිස්ත්‍රික්ක වල ඡන්ද දායකයාට ජාතික ජන බලවේගය රජයක් තුල තම ප්‍රදේශ ගොඩ නැගෙන්නේ කෙසේද කියා දැන ගත හැකි වනු ඇත . සියළු දත්ත හා තොරතුරු කොට්ඨාස සභා හරහා එකතු කොට දිස්ත්‍රික්කයේ විෂය ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් අදාළ දිස්ත්‍රික් සැලසුම් සකස් වෙමින් ඇත.

සහලින් ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීම පිළිබඳ ජාතික ජන බලවේගය ගෙන යෑමට බලාපොරොත්තු වන වැඩ පිළිවෙළ මෙම ලිපියෙන් කෙටියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරමි. වැවිලි භෝග , සුළු අපනයන භෝග , ධීවර , සත්ව පාලනය වැනි අංශ පිළිබඳ ඉදිරි ලිපි වලින් සාකච්ඡා කිරීමට අදහස් කරමි.

ලංකාවේ යල සහ මහ කන්නයේ වී අස්වැන්න රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 95% ක් සපුරයි. මෙය 100% ඉක්මවූ අවස්ථාද නොතිබුණා නොවෙයි. ඒ සඳහා අවශ්‍ය වාරි පහසුකම් , කෘෂි යෙදවුම් සහ ව්‍යාප්ති සේවා නිසි පරිදි සිදුවන්නේ නම් අතිරික්ත වී නිෂ්පාදනයක් වුවද ලබා ගත හැක. මීට අමතරව විදේශ වෙළඳපොළට සැපයිය හැකි ඉහළ ඉල්ලුමක් සහිත වැඩි දියුණු කල වී ප්‍රභේද හඳුනාගැනීම සහ තෝරාගත් ප්‍රදේශ වල ඒවා ප්‍රචලිත කිරීමටද කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදකයින් අවධානය යොමු කොට ඇත. මේ හරහා විදේශ විනිමය වුවද ඉපැයීමට හැකි ය.

ජාතික ජන බලවේගය රජයක් තුල ගොවි සමිති ගොවි සමුපකාර සමාගම් බවට පත්වේ. දිස්ත්‍රික් හෝ පළාත් මට්ටමින් සමාගම් කිහිපයක් එකතුවී හෝල්ඩින්ග් සමාගම් (Holding Company) ඇති වනු ඇත. එම සමාගම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සමුපකාර බැංකු ක්‍රමය හරහා සැපයෙන අතර තාක්ෂණය , වෙළෙඳපොළ සහ නියාමනය වැනි කාරණා වලදී රජය අවශ්‍ය මග පෙන්වීම් කරනු ඇත. මේ හරහා ගොවියා සවිබල ගැන්වෙන අතර ඔහු සමාගමේ කොටස් හිමියකු බවට පත්වනු ඇත. එවැනි නියමු වැඩසටහනක් මේ දිනවල පොලොන්නරුවේ මැදිරිගිරියේ සහ හිඟුරක්ගොඩ යන ප්‍රදේශ වල සමුපකාර සමිති හරහා සිදුවෙමින් ඇත.

බල ප්‍රදේශයේ ගොවියන් සංවිධාන ගත කොට බිම් සකස් කිරීමේ සිට ඔවුන්ගේ නිෂ්පාදන අවසන් පාරිභෝගිකයා අතට පත්වන තුරු අගය දාමය මෙම ගොවි සමුපකාර සමාගම හරහා සිදුවනු ඇත. මහ කන්නයේ වී අස්වැන්න මිල දී ගැනීමෙන් ආරම්භ වන මෙම ක්‍රියාවලිය ඊලඟ යල කන්නයේ සිට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය 40%-50% කින් අඩු කිරීමට අවශ්‍ය කටයුතු ගොවි සමුපකාර සමාගම විසින් සම්පාදනය කරනු ඇත. ගොවි සමාගමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අනෙකුත් යෙදවුම් ලබා ගැනීමට ආරම්භයේ දී විවිධ සේවා සමුපකාරය මැදිහත් වනු ඇත. සමුපකාරය ඔවුන්ගේ සියළු නිෂ්පාදන මිල දී ගන්නා අතර අගය එකතු කොට ඒවා දිවයින පුරා බෙදා හැරීමටද සමුපකාරය කටයුතු කරණු ඇත. මේ හරහා අතරමැදියන් අවම වන අතර ගොවියාට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලැබෙනු ඇත. මේ වන විටත් ගබඩා සූදානම් වෙමින් අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සකස් වෙමින් ඇත.

රටේ සහල් නිපදවන සියළු දිස්ත්‍රික්ක කරා මෙම ක්‍රමය ව්‍යාප්ත කිරීමට ජාතික ජන බලවේගය රජයක් තුල කටයුතු කරනු ඇත. වී නිෂ්පාදනය පවතින තත්වයේ සිට 10% කින් වැඩි කිරීමට 2025 වර්ෂයේ කටයුතු කරන අතර සහල් ආනයනය සම්පූර්ණයෙන් නවතා දැමීම මෙහි ඉලක්කය යි. 2022 වසරේ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 8ක් ආනයනය කොට ඇති අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 380-400 අතර ප්‍රමාණයක් රජය වැයකොට ඇත. මේ දිනවල කීරී සම්බා මෙට්ට්‍රික් ටොන් 50000 ආනයනය කිරීමට රජය කටයුතු කොට ඇත. ජාතික ජන බලවේගය කෘෂිකර්ම ප්‍රතිපත්තිය අනුව සහල් ආනයනය අනවශ්‍ය වන අතර යම් නිස්චිත කාලයකදී ලංකාවේ සහල් අපනයනය කිරීමට ජාතික ජන බලවේගය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම හරහා කටයුතු සිදුවන බව ඉඳුරාම කිව යුතුය.

නිෂ්පාදන ආර්ථිකයක ඇති වැදගත්කම වන්නේ තම රටේ පවතින සීමිත සම්පත් යොදා ගෙන නිෂ්පාදනය , පරිභෝජනය සහ බෙදා හැරීම කාර්‍යකෂම ආකාරයට කල හැකි වීමයි. එහිදී සම්පත් තිරසර අන්දමින් භාවිතා කල හැක. වෙළඳපොළ ආර්ථික ක්‍රමයකදී සියල්ල තීරණය කරන්නේ ලාභ ප්‍රතිශතය අනුවයි. ධනය ඇති සුළු පිරිසක් සමස්ත ආර්ථිකය හැසිරවීම තුල අසමානතාවය වැඩි වනු ඇත. පෞද්ගලික ලාභ අපේක්ෂිත මහාපරිමාන සමාගම් හිමිකරුවන්ට සමාජ වගකීමක් නැත. එහි ඵලවිපාක අද ඔබ හොඳින් භුක්ති විඳිමින් සිටී. සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ එම නිසාය. මෙම තත්ත්වයෙන් ගැලවීමට නම් නිෂ්පාදන ආර්ථික ක්‍රමයකට මාරු විය යුතුය. ගොවියා සවිබල ගැන්විය යුතුය. එය කල හැක්කේ ජාතික ජන බලවේගය රජයකට පමණි. ඔවුන් එහි පෙරහුරු මේ වන විටත් ආරම්භ කර ඇත. ඔවුන්ට බලය ලැබෙන පළමු පැයේ සිට මෙම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට දස දහස් ගණනක් වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් , විද්‍යාඥයන් සහ තවත් බොහෝ පිරිස් දේශීයව මෙන්ම විදේශීයව සූදානමින් සිටී. එවැනි කැපවුණු පිරිසක් සිටින එකම සංවිධානය ජාතික ජන බලවේගය යි. ඔබේ දරුවාට, මුණුබුරාට, සහෝදරයාට, සහෝදරියට අපේක්ෂාවේ දේශය නිර්මාණය කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව අවධාරණයෙන් සටහන් කරමි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions