Home » මහ බැංකු අධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

මහ බැංකු අධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

by Nipuna Fernando

ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවත්, එම නිසා විදෙස් ණය ගෙවා දැමීමට නොහැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා නිකුත් කළ නිවේදනයට එරෙහිව වෘත්තීය සමිති නායකයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම නිවේදනය නිසි බලයකිත් තොරව නිකුත් කළ නීති විරෝධී ලියවිල්ලක් බවට නිගමනය කරන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම ගොනුකර ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය අලී සබ්‍රි මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ එම් එම් සිරිවර්ධන මහතා, මහ බැංකු මුල්‍ය මණ්ඩලය හා නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන එම පෙත්සම හෙට (10) ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සළකා බැලීමට නියමිතයි.

රට බංකොලොත් බවට තීරණය කිරීම සහ එම නිවේදනය නිකුත් කර ඇත්තේ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියක් ලබා ගැනීමකින් තොරව බවට අනාවරණය වී ඇති බැවින් එලෙස කටයුතු කළ වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන අතර එම ක්‍රියා කලාපය නිසා තමන් ඇතුලු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නිගමනය කරන ලෙසත් එකී මූලික අයිතිවාසිකම් නැවත ස්ථාපනය වන ආකාරයට වෙනත් ක්‍රියාමාර්ග ගත හැකිනම් ඒ සඳහා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති බවයි.

අමෙරිකානු ඩොලර් නිශ්චිතව ලැබීමට තිබියදීත්, විදේශ ණය නොගෙවා ණය පැහැර හැරීමට කටයුතු කරන බවට සිදු කළ ප්‍රකාශය අතිශයින්ම මතභේදාත්මක බවත් එමඟින් ශ්‍රී ලංකාවේ පිරිසිදු ණය ගෙවීමේ ඉතිහාසය පලුදු වී ශ්‍රී ලංකා රජයට දැවැන්ත මුල්‍ය පහරක් එල්ල වී ඇති බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙන්වා දී තිබේ. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ වෘත්තීය සමිති ක්‍රියාකාරී රවී කුමුදේශ් මහතා සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් වේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions