Home » මහේෂ් අමලියන් එල්ලයිද? – එරන්ද ගිනිගේ

මහේෂ් අමලියන් එල්ලයිද? – එරන්ද ගිනිගේ

by Plus One

මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු වන මහේෂ් අමලියන් වැන්නවුන් විසින් රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන් “එල්ලා දමන” බවට ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය ප්‍රකාශක, කෝට්ටේ නගර සභාපති අපේක්ෂක චතුරංග අබේසිංහ පවසයි. ඔහු විසින්ම පටිගත කර පළ කර ඇති එම වීඩියෝවේ කියන ආකාරයට ලංකාවේ රාජ්‍ය ව්‍යාපාරවලින් ලාබ ඉපැයීමට අසමත් වූ සියලු ඉහළ නිලධාරීන් ජාජබ රෙජීමයක් යටතේ මරණීය දණ්ඩනයට පමුණුවනු ඇත.

මහේෂ් අමලියන් යනු සුප්‍රකට MAS සමූහ ව්‍යාපාරයේ සම-නිර්මාතෘවරයෙකු වන කෝටිපති ව්‍යාපාරික දානපතියෙකි. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) සභාපතිවරයා ලෙස 2008 – 2019 දක්වා ඔහු ක්‍රියා කළේය. එම ව්‍යාපාරය ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසායකත්ව අමාත්‍යංශය යටතේ ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වේ. 2021 වසරේ ජාතික විද්‍යා සහ තාක්ෂණ කොමිසම විසින් සිදු කළ කාර්යසාධන ඇගයීම් වාර්තාවට අනුව SLINTEC ආයතනය දිගින් දිගටම වාර්ෂිකව රුපියල් මිලියන සිය ගණනින් පාඩු ලබා ඇත. එම කෝටි ගණනක පාඩුව පියවා ඇත්තේ රජයේ භාණ්ඩාගාරයේ මුදලින් හෙවත් ජනතාවගේ බදු මුදලිනි.

එම වාර්තාවට අනුව SLINTEC ආයතනය මූල්‍යමය වශයෙන් තවදුරටත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයට පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ මහලේකම්ගේ පුත්‍රයා වන චතුරංග අබේසිංහ එම පක්ෂයේ විධායක කමිටුවේ ප්‍රබල සාමාජිකයෙකි. එතුමා පවසන ආකාරයට ඉහත ආකාරයේ පාඩු ලැබීම් සඳහා ඒවායේ නායකත්වය අනිවාර්යෙන් වගකිව යුතු වන අතර එම අවකළමනාකරණය වෙනුවෙන් දඬුවම් විඳිය යුතුය. චතුරංග ඉතා ප්‍රචණ්ඩකාරීව පවසන්නේ එවැනි පුද්ගලයන් “එල්ලා” ඝාතනය කර දැමිය යුතු බවයි.

අමලියන්ට මේ හරහා ඇතිවන තවත් ගැටලුවක් වන්නේ ඉහත ආකාරයට SLINTEC ආයතනය වසරක් වසරක් පාසා දිගින් දිගටම අසාර්ථක වෙමින් කෝටි ගණනින් පාඩු ලැබීමට හේතුවක් වන්නේ, මෙරට අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදලින් ඉතා ඉහළ වැටුප් සහ සැප විඳින එම ආයතනයේ විද්‍යාඥයන් විසින් පරීක්ෂණ කර ලබාගත් පේටන්ට් බලපත්‍රවලින් එන ආදායමෙන් වැඩි කොටසක් එම පේටන්ට් බලපත්‍රවල වැඩි අයිතිය හිමි මාස් හෝ වෙනත් පුද්ගලික ආයතන වෙත යනවාද යන ප්‍රශ්නය ජනතාව අසන නිසාය. එය සත්‍යයක් නම් SLINTEC ආයතනය තුළ බරපතල වංචාවක් හා දූෂණයක් සිදුව ඇත. ජාජබ රෙජීමය විසින් ලංකාව වංචාවෙන් හා දූෂණයෙන් සපුරා තොර රටක් බවට පත් කරන බවට ඔවුන් දිවුරා තිබේ. සිය බිහිසුණු තර්ජනාත්මක ප්‍රකාශයේ ජාජබ තරුණ නායක චතුරංග අබේසිංහ පවසන්නේ මහේෂ් අමලියන් වැනි ධනවතුන් භුක්ති විඳින “නියෝ-ලිබරල් ධනවාදය” ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දමන බවයි.

ජාජබ නමින් සිටින ජවිපෙ 1988-89 කාලය තුළ හැටදාහක පිරිසක් ඝාතනයට ලක් කරමින් මහා ජාන සංහාරයක් කරමින් මානව අයිතිවාසිකම් කඩ කළ අතර මෑතක ක්‍රියාත්මක කළ සාහසික අරගලය හරහා මෙරට ව්‍යාපාරිකයන්ට පහර දී ඔවුන්ගේ දේපළ පුළුස්සා දැමීය. සේවයෙන් පහ කළ අපකීර්තිමත් හමුදා සෙබළුන්ගෙන් සමන්විත අතිශය බිහිසුණු රණවිරු සේනාංකයක් දැනටමත් නිර්මාණය කර තිබෙන ජාතික ජන බලවේගය මෙරට ආණ්ඩු බලය ලබා ගත් සැනින් සිදු කරන්නට යන මර්දනය පිළිබඳව මෙරට ව්‍යාපාරිකයන් බොහෝ කලබලයට පත්ව තිබේ. විශේෂයෙන්ම රාජ්‍යයට අයිතියක් ඇති ව්‍යාපාර ආයතනවල ඉහළ පුටු දරන සහ දැරූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට මෙය ප්‍රබල රතු නිවේදනයකි. “රට බංකොලොත්” ලෙස ප්‍රකාශයට පත් කිරීමට අරගල කාලය තුළ දැඩිව කතා කළ අය අතර අමලියන් පවුලද සිටී.

දැනට සිදු කර ඇති සියලු සමීක්ෂණ වාර්තා අනුවත් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් දේවසිරි මහතා පවසන ආකාරයටත් ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වීමට නියමිතව ඇත්තේ ජවිපෙ/ජාජබ නායක අනුර කුමාර දිසානායකය. චතුරංග අබේසිංහ මාස් සමූහ ව්‍යාපාරයේ සේවය කළ දත්ත විද්‍යාඥයයෙකි.

https://www.nastec.gov.lk/files/review_report/SLINTEC_Review_Report.pdf

එරන්ද ගිනිගේ
2023 ජනවාරි 13

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions