Home » මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම – එරන්ද ගිනිගේ

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම – එරන්ද ගිනිගේ

by Plus One

නලින් ද සිල්වා කියනවා “මහා පිපිරුම කියන්නේ මැවීම් සංකල්පය ය” කියා. මේ ප්‍රකාශය සාධාරණද? පළමුවෙන්ම කිව යුත්තේ ඔය “මහා පිපිරුම” කියන යෙදුම ඉතාම නොමග යවන සුලුයි. එය Big Bang යන ජනප්‍රිය එහෙත් සාහසික යෙදුමේ ග්‍රාම්‍ය සිංහල පරිවර්තනයක්. Big Bang යන්නෙන් හැඟවෙන ආකාරයේ පිපිරීමක් එම වාදයෙන් කියන්නේ නැහැ. බොහෝ අය හිතාගෙන ඉන්නේ විශ්වයේ ඇහැට පේන අතට දැනෙන හිරු සඳු ග්‍රහලෝක ඇතුළු සියලු පදාර්ථය එකට තදවෙලා තිබිලා එකපාරටම මහා හයියෙන් පුපුරලා ගියා වගේ කතාවක්. නමුත් ඒ වාදයෙන් කියන්නේ එහෙම දෙයක් නෙවෙයි.

ඕක සරලව මෙහෙමයි. මන්දාකිණි දිහා දුරේක්ෂවලින් බලන කොට දැක්කා ඒවා වේගයෙන් එකිනෙකින් ඈත් වෙමින් තිබෙනවා කියා. හරියටම කිව්වොත් මුළු විශ්වයම එකවර “ප්‍රසාරණය” වෙනවා. එතකොට කෙනෙක් තාර්කිකව හිතුවා එහෙම හැම දෙයක්ම හැම එකකින්ම ඈතට යනවා නම් අතීතයේ සියල්ල තියෙන්න ඇත්තේ අදට වඩා සමීපව කියා. Big Bang කියන්නේ අන්න ඒ සමීපව තිබුණු විශ්වයට කියන ජනප්‍රිය නමක්. එහෙම අවස්ථාවක් තිබුණා නම් එහි විශාල ශක්තියක් තිබිය යුතුය කියා න්‍යායාත්මක අදහසක් ආවා. හොයලා බලන කොට එහෙම විශාල තාපයක් තිබුණු බවට සාක්ෂි ලැබුණා (Cosmic Background Radiation). ඔන්න ඔහොම තමයි ඔය වාදය හැදෙන්නේ සරලව.

ප්‍රසාරණය වෙන කොට විශ්වයේ උණුසුම අඩු වෙනවත් එක්කම ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ආදිය හැදිලා ඒවායින් හයිඩ්‍රජන් හීලියම් වගේ සරල පරමාණු හැදිලා සූර්යයන් හැදිලා ඒ වටා ග්‍රහ මණ්ඩල හැදෙන්න ඇති කියලා තමයි මේ වාදයෙන් කියන්නේ. ඒ අස්සේ ඒ ඔක්කොම එකිනෙකින් ඈත් වෙමින් යනවා. මේක වෙන්නේ සූර්ය වර්ෂ බිලියන ගණනක් තිස්සේ. ඒක හිතාගන්නවත් අපහසු මහා දීර්ඝ කාලයක්. හරි, දැන් ඔය වාදය ගැන සරල අදහසක් ඔබට ඇති. එහෙනම් අපි ඊළඟට අහන්න ඕනා නලින් ද සිල්වා කියන්නා වගේ ඒ වාදය මැවීම් සංකල්පය ද? කියා.

“මැවීම් සංකල්පය” කියන්නේ මොකක්ද? එයින් කියන්නේ ලෝකය (ඕන නම් විශ්වය කියමු) කිසිවෙකු (හෝ කිසිවක්) විසින් මැව්වාය කියන මූලික අදහස. මේ මැවුම්වාදය ඊනියා බටහිර හෙවත් යුදා-ක්‍රිස්තියානි හෙවත් ආබ්‍රහමික ආගමික විශ්වාසයක් වගේම ඊනියා පෙරදිග මහා බ්‍රහ්ම හෝ ඊශ්වර විශ්වාසයේද දැකගන්න පුළුවන්. ඒ නිසා ඒ දෘෂ්ටිය ඊනියා බටහිර උරුමයක් නොවෙයි. ඒක මිනිස් ශිෂ්ටාචාරයේ මුල් අවධියේ සිටම පැවත එන විශ්වාසයක්.

නැවතත් ප්‍රශ්නයට ආවොත්, දැන් Big Bang එකෙන් කියන්නේ මැවීමක් ගැනද? කිසිසේත්ම නැහැ. Big Bang එකේ කොහේවත් කියන්නේ නැහැ විශ්වයේ ප්‍රසාරණය වීම “කරවපු” ඊශ්වරයෙක් ගැන. නමුත් ඇතැම් නූතන ආබ්‍රහමික ආගමිකයන් උත්සාහ කරනවා ඔවුන්ගේ මැවුම්වාදය ඔය Big Bang එකට සමපාත කරන්න. සමහර කතෝලික විද්‍යාඥයන් තමන්ගේ අභ්‍යන්තර ගැටුම එයින් අසවසා ගන්නවා. උදාහරණයක් හැටියට බයිබලයේ එන ලෝකෝත්පත්ති කතාව බොරුවක් කියලා ඔප්පු වුණාම ඔවුන් දැන් කියනවා එතන ඇත්තටම කියලා තියෙන්නේ ඔය Big Bang එක ගැනයි කියලා. නමුත් ඒ ආගමික කියවීමයි, Big Bang එකයි කිසිසේත්ම එකිනෙකට අදාළ නැති බව ඔබට පැහැදිලි විය යුතුයි. නලින් ද සිල්වා කරන්නේ ඒ ආගමික අදහස විතරක් උලුප්පලා පඹයා දැමීමක්.

නලින් ද සිල්වාගේ වඩාත් දාර්ශනික තර්කය තමයි Big Bang වාදය හැදෙන්නෙම විශ්වයට ආරම්භයක් (සහ අවසානයක්) තිබේය, එවැනි ආරම්භයක් ඇත්නම් එම ආරම්භයට හේතුවක් තිබිය යුතුය, එම හේතුව ඊශ්වරයෙකිය; යන මැවුම්වාදී චින්තනය මත බව. ඕකට කියන්නේ Cosmological Argument කියලා. ඒ තර්කය සාධාරණත් නැහැ. මොකද Big Bang වාදයේ කොහේවත් කියන්නේ නැහැ “ආරම්භයක්” ගැන. උදාහරණයක් හැටියට ඒ අවස්ථාවට කලින් තිබුණේ මොකක්ද කියලවත් ඒ වාදයට අනුව කියන්න බැහැ. මොකද ඒ වාදයට අනුව ඊට කලින් කාලය, අවකාශය, ශක්තිය-පදාර්ථය තිබුණද, තිබුණා නම් තිබුණේ කොහොමද කියලා කියන්න බැහැ. දෙන්න තියෙන සරලම පිළිතුර තමයි “තාම දන්නේ නැහැ” යන්න. ඒකට තමයි විද්‍යාව කියන්නේ. නොදන්නා දේ සොයා යෑම. සත්‍යය සොයා යෑම. දන්නේ නැති නිසා “අන්න ඒ තමයි මැවුම්කාර ඊශ්වරයා” යැයි කීම අතාර්කිකයි. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ God of the gaps කියලා. ඒ කියන්නේ විද්‍යාත්මකව පිළිගත හැකි තරමට තහවුරු කර නැති මොකක් හරි දෙයක් තියෙනවා නම් අන්න ඒ gap එකෙන් මැවුම්කාර දෙවියා ඔප්පු වෙනවා යැයි කියන අතාර්කික ප්‍රකාශය. දැනට යමක් විද්‍යාත්මකව තේරුම් ගන්න බැරි වුණු ගමන් “ඕක කළේ නාථ දෙවියන්” යැයි කීම වගේ තමයි. ඒ අනුව ඔය ඊනියා බටහිර ආධිපත්‍ය තුළ ඇත්තටම ඉන්නේ නලින් ද සිල්වා සහ එයාගේ ගෝලයන් ටිකමයි. නැතුව මේවා දිහා විවෘත මනසකින් අපක්ෂපාතීව බලන විද්‍යාත්මකව හිතන මිනිස්සු නොවෙයි.

ඒ වගේම කිව යුතුයි විශ්වය පිළිබඳව තිබෙන එකම වාදයත් Big Bang නොවෙයි. ආරම්භයක් හෝ අවසානයක් හෝ නැතිව විශ්වය ස්ථාවරව සදාකාලිකව නිර්මාණය වෙමින් පවතිනවා කියන Steady-state වාදය තියෙනවා. එතකොට ප්ලාස්මා විසින් විශ්වය පවත්වාගෙන යනවාය කියන Plasma cosmology අදහස තිබෙනවා. දැන් මේවා මොන දිසාවේද? ඒවත් ඊනියා බටහිර දිසාවේ තමයි. හැබැයි එහෙම විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් නැත, ඉමක් කොනක් සීමාවක් නැත වැනි විශ්වාස පෙරදිගත් තිබුණා. මේවා එහෙම බටහිර-පෙරදිග කියලා බෙදීම පදනම් විරහිතයි.

නලින් ද සිල්වා ඇත්තටම කරන්නේ මේ විද්‍යාත්මක අදහස් අනවශ්‍ය සහ වැරදි විදිහට ආගමීකරණය කිරීමයි. එයාම පඹයෙක් හදලා, එයයි එයාගේ ගෝලයෝ ටිකයි වටවෙලා ඒ පම්බයට ගහනවා. බලාගෙන ඉන්න උන් තුෂ්නිම්භූත වෙනවා. ලොකු ලොකු බර බර වචන කියන නිසා අහගෙන ඉන්න අහිංසකයන් විශ්වාස කරනවා ඒවා ඇත්ත කියලා. මේ විකෘතිය නිසා ලංකාවේ එක්තරා ඊනියා උගත් පරම්පරාවක්ම විද්‍යාත්මක චින්තනය ප්‍රතික්ෂේප කරන අහංකාර පඬියන් වෙලයි ඉන්නේ. ඒ පාප කර්මයට නලින් ද සිල්වා වගකිව යුතුයි. නලින් ද සිල්වා ගැන මා අනුකම්පා කරනවා. මේ අදහස් ගැන ලෝකයේ අද සිදු වෙන සංවාද ගැන මීට වඩා ඔබ අහන්න ඕනා. ඔබ දකින්නේ ඉතාම පටු කෝණයක් විතරයි. ධර්මය අපට මග වේවා!

ඩාවින්ගේ පරිණාමවාදය සහ නලින් ද සිල්වා ගැන ඊළඟ ලිපියෙන්.

එරන්ද ගිනිගේ
eranda.ginige@gmail.com
2024 පෙබරවාරි 20

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions