Home » මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළිකරන්න අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළිකරන්න අභියාචනාධිකරණයෙන් තීන්දුවක්

by Nirodha Gamage

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ වන බවත්, ඔවුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටින බවත් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ප්‍රසිද්ධ කරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව නිකුත් කළ නියෝගයක් තහවුරු කරමින් සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

නීති සම්පාදකයින් මහජනතාව විසින් පත් කරනු ලබන නියෝජිතයන් බව අවධාරණය කළ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන ඔවුන්ටද අදාළ වන බව සඳහන් කළේය.

මහජනතාව විසින් නඩත්තු කරනු ලබන බැවින් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නීතියෙන් බැඳී සිටින බව අභියාචනාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

විනිසුරු අබේකෝන් තවදුරටත් පෙන්වා දුන්නේ මෙය පිළිපැදීමට අපොහොසත් වීම නීති විරෝධී ක්‍රියාවක් වන අතර එය වසරකට නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් මිලියනයකට නොඅඩු දඩයකට යටත් වීමට හේතුවක් විය හැකි බවයි.

2021 ජුනි 21 වැනිදා මාධ්‍යවේදී චාමර සම්පත් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යොමු කරමින් වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් ඉල්ලා තිබුණි.

පාර්ලිමේන්තු මහලේකම්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඔහු තොරතුරු දැනගැනීමේ කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව එම මාධ්‍යවේදියා ඉල්ලා සිටි තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිසම පාර්ලිමේන්තු තොරතුරු නිලධාරියාට නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, කොමිසමේ නියෝගය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ සඳහන් කරුණු පදනම් විරහිත බව තීන්දු කළේය.

ඒ අනුව, 2021 පෙබරවාරි 02 වැනි දින කොමිසම විසින් ලබා දුන් නියෝගයට පිටුබලය දෙමින් විනිසුරු මඩුල්ල පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions