Home » බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජනරජ පෙරමුණෙන් දේශප්‍රේමී බැඳුම්කරයක්

බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් ජනරජ පෙරමුණෙන් දේශප්‍රේමී බැඳුම්කරයක්

by Plus One

ටිකිරි මාරි විසඳුම් ගේන කයිවාරුකාරයන් නෙමෙයි ජනරජ පෙරමුණේ ඉන්නේ වෘත්තීය නිපුණතාවයකින් යුත් පිරිසක්

තමන්ට බලය ලබාදුන හොත් අතීත බදුත් සමග වසරක් ඇතුළත කැසිනෝ බදු එකතු කරනවා පමණක් නොව, ඒ ගෙවිය යුතු අයට නිසි දඬුවම් ලබා දී දේපළ ආපසු ලබාගැනීමට කටයුතු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා යක්කල රමාදී හෝටලයේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;
“බැංකු පද්ධතියේ විශාල ම ණය කන්ද දීලා තියෙන්නේ ආණ්ඩුව. විශේෂයෙන්ම මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකු, මේ සුඛෝපභෝගී මහා සංවර්ධනය කරන්න කියලා සල්ලි දීලා තියෙනවා. අධිවේගී මාර්ගයක් කඩවත ඉඳන් මීරිගමට. කෝටි 6500 ක් මේකට වැය කළා. මේකට චීනෙන් ආධාර දෙනවා කියලා පටන් ගත්තා. හැබැයි අන්තිමට වුණේ මොකක්ද? රජයේ බැංකුවලින් තමයි ගෙව්වේ. දැන් පාර මොකද කරලා තියෙන්නේ? පාර අතෑරලා දාලා ගිහින් තියෙනවා. අන්තිමට ඒ සල්ලි වලට මොකද වෙන්නේ? මේ රටේ බැංකු තැන්පතු දාපු හැම මිනිහගෙ ම සල්ලියක් නේද ඒ පාරේ අද නාස්ති වෙන්නේ?
අපට බලය තිබුණා නම් මොකද වෙන්නේ? අපට බලය තිබුණා නම් අපි සැලසුම් කරලා තිබුණා. කඩවත ඉඳන් මේ නුවර පාර දිගේ, කැලණියට. කැලණියෙන් අංගොඩට අංගොඩින් මරදානට අර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ගෙනියන්න. ඒ බලය අපෙන් උදුර ගෙන අර තක්කඩි වියත් මගේ තර්ක වලට යට වෙලා,මේ රටේ හිටපු මෝඩම ජනාධිපති කෙනෙක් ජනාධිපති කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අද අර පාරත් බංකොලොත් වෙලා තියෙනවා. මෙතනින් යන්න තිබිච්ච ඒ සැහැල්ලු දුම්රිය මාර්ගය අපිට අහිමි කර ගෙන තියෙනවා. ඕක තමයි කර ගෙන තියෙන දේ. නේද? ඒක තමයි කර ගෙන තියෙන විපත්තිය.
නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹ නගරයේ තඹ දොයිතුවක් බදු ගෙවන්නේ නැතුව ඉඩම් අක්කර ගණන් පාලනය කරපු, රටේ ප්‍රකෝටිපතියන්ගේ සල්ලි අපි අවුරුද්දෙන් අරගෙන පෙන්නුවා. එහෙමයි ගෝඨාභය ණය කරලා වට්ටපු නාගරික සංවර්ධන අධිකාරිය අපි ගොඩ දැම්මේ. නේද? ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව දේශපාලන හෙංචයියන්ගෙන් මුදාගෙන අධ්‍යක්ෂ සභාපතිලා ඇතුළු කාර්ය මණ්ඩල ඉදිරියට ගෙනියන්න වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කරලා වංචනික ක්‍රියා කරපු සියලු දෙනාම මෙතනින් ඉවත් කරලා වෘත්තීය පාලනයක් ගෙනල්ලා මේ බොල් ණය අය කර ගැනීම සඳහා වසරක් ඇතුළත අපි පියවර ගන්නවා.
රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි, ආයතන විස්සක් විතර තියෙනවා, මේ රටේ ඉතාමත්ම බලගතු ආයතන. ඒ දත්ත වේදිකාවකට ගෙනාව නම්, රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ටාර් කන්තෝරුව, හැඳුනුම්පත් අංශය, ප්‍රාදේශීය ලේකම්ලා මේ ඔක්කොම එක වේදිකාවකට ගෙනාවා නම්, කවුරුහරි, කොහෙන් හරි වංචා කරන්න ගියා නම්, ඒක අහුවෙනවා නේද? මේක හුදු දේශපාලකයින්ගේ විතරක් වැඩක් නෙමෙයි. මේක පැහැදිලිව ම නිලධාරීන් ඇතුළු අනිත් ජාවාරම්කාර ව්‍යාපාරික පන්තියක් එකට එකතු වෙලා කරගෙන යන වැඩ පිළිවෙළක්. ඒක නවත්තලා අපි දත්ත වේදිකාවකට ආදායම් සියල්ල ම ගන්නවා. අරගෙන රට අර 190 වෙනි තැන ඉඳන් පළවෙනි 10 දෙනා අතරට සාර්ථකව ආදායම එකතු කරන රටක් බවට අපි පරිවර්තනය කරනවා. ඒක තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. අපි ඒක ඉගැන්නුවේ සමහර කයිය කාරයෝ වගේ නෙමෙයි. අපි හදපු හැම අමාත්‍යාංශයකම, අපි ආදායම වැඩි කරලා, ඒ ආයතන ලාභදායී කරලා, ඒ ආයතන ආර්ථික අතින් කාර්යක්ෂම කරලා, වැඩ පෙන්නලයි ඇවිල්ලා තියෙන්නේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණය යුක්ති යුක්ත වෙන්න ඕනේ. යුක්තිසහගත වෙන්න ඕනේ, සාධාරණ වෙන්න ඕනේ, කවුද මේ ණයේ බර ගෙවන්නේ? මේ ණයෙන් කොල්ල කාපු පිරිස, මේ ණයෙන් ධන කුවේරයෝ වෙච්ච පිරිස, මේ ණයෙන් යටි කොඩි ගහගත්ත පිරිස වෙනම ඉන්නවා. නමුත් ණයේ බර ගෙවන්න වෙලා තියෙන්නේ, මේ රටේ සාමාන්‍ය ජනතාවට. අත තිබ්බේ කාටද? මහ බැංකුවට. මහ බැංකුවටත් අත තිබ්බහම මොකද වෙන්නේ? මහ බැංකුවට තියෙන සල්ලියත් නැති වෙනවා. එතකොට මහ බැංකුවට සල්ලි තිබීමෙන් තියෙන, මොකක්ද තියෙන වැදගත්කම? බැංකුවක් බංකොලොත් වෙන්න ගියොත්, අපි දැක්කා සෙලාන් බැංකුව බංකොලොත් වෙන්න ගියා. මහ බැංකුව තමයි මැදිහත් වුණා. සෙලින්කෝ එකට මහ බැංකුව මැදිහත් වුණා. එදිරිසිංහ, ඊ. ටී. අයි. ආයතනය වැටෙනකොට මහ බැංකුව මැදිහත් වුණා. ඒ මැදිහත් වෙන්න පුළුවන් වුණේ ඇයි? මහ බැංකුවට සල්ලි තියෙන නිසා. දැන් මොකද වෙන්නේ? මහ බැංකුවට ලැබෙන ඒ ආදායම නැති වෙනවා. එහෙමනම් බැංකුවක් අර්බුදයට ගියොත්, රක්ෂණ සමාගමක් අර්බුදයට ගියොත්, මූල්‍ය සමාගමක් අර්බුදයට ගියොත්, මහ බැංකුවට සල්ලි නැති වුණොත් මොකද වෙන්නේ? අර කන්ද නාය යනවා වගේ අනිත් ඔක්කොමත් නාය යනවා. දැන් එතකොට මොකක්ද විසඳුම? අපි ආවනම් වැඩි පොළී කාරයින් වැඩියෙන් පොළිය ලබා ගත්ත මිනිස්සුන්ගෙන් තමයි මුලින් පටන් ගන්නේ කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය.
අපි කාටද අත තියන්නේ? අපි අත තියන්නේ ඒ වැඩ කරන ජනතාවගේ අරමුදල් වලට නෙවෙයි. අපි අත තියන්නේ අන්න අර අධික ලාභ උපයපු පුද්ගලයින්ට මූල්‍ය සමාගම් වලට ඒකයි අපේ ප්‍රතිපත්තිය.
ගත්ත හැම රාජ්‍ය ආයතනයක්ම ගොඩ දාපු කණ්ඩායමක් හැටියට අපි කියන්නේ මේ රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කරන ක්‍රමවේදය ඕක නෙමෙයි. ඔයිට වඩා වෙනස් වැදගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට මේ රාජ්‍ය අංශය මීට වඩා කාර්යක්ෂම, මීට වඩා පොඩි ජනතාවට බරක් නොදෙන තැනක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.
රොබට් බ්‍රවුන්රිග්ගෙන් පස්සෙත් ලොකුම විනාශය මේ රටේ අපේ සංස්කෘතියටයි, ආර්ථිකයටයි කරේ රාජපක්ෂලයි. අපි මේ රටේ කෘෂිකර්මය ගොඩනගන්න ඕන. හැබැයි අපි හිතන්නෑ මේ කෘෂිකර්මය, මේ රට කෘෂිකාර්මික රටක්, මෙහෙ කෘෂිකර්මයෙන් තමයි ඔක්කොම කරන්න ඕනේ කියනවා වගේ පැරණි අදහස් වල අපි නෑ. හැබැයි අපේ ආහාර ටික අපි නිපදවගන්න ඕනේ. විතරක් නෙමෙයි අපේ ඵලදායිතාවය ඉහළ නංවා ගන්න ඕනේ. අපේ ජනගහනය 27% ක් කෘෂිකර්මයෙන්. වාණිජ වැවිලි වලයි ඉන්නේ. හැබැයි ආදායම කීයද? ආදායම 7% යි. ඵලදායිතාවය අන්තිමයි. තුන්වේල කන ජනතාවක් මේ මහ පොළොවෙන් මේ ඵලදායිතාව ඉහළ නැංවීමෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මේ රටේ බලශක්ති ස්වයංපෝෂිතතාවය ඇති කරගන්න ඕනේ. මේ ගැන සැලැස්මක් අපි දුන්නා. අද අපි 2006 ක්‍රියාත්මක කරපු වහල උඩ සූර්ය බලශක්ති කට්ටල කිරීම එදා අපිට හිනා වුණා. හැබැයි අද ඒක නිසා තමයි කැපෙන්නේ නැත්තේ. අද ඒක නිසා තමයි ලයිට් කැපෙන්නේ නැත්තේ. අද මේ රටේ තව මේ සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට අපි කටයුතු කළා නම්, ඒ කටයුත්ත අපි ඉදිරියට ගෙනිච්චා නම්, මේ රට බල ශක්තියෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීමේ පළවෙනි පියවර එතන තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවට, තමන්ගේ බලශක්තිය තමන් නිපදවගන්න. ජන විදුලි බලාගාර හදන්න අදහසක් අපි ඉදිරිපත් කළා. ඒ විදිහට හැමෝම තම තමන්ගේ බලශක්තිය ඇති හැකි අයවත් හදා ගත්තොත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඔය ඒකාධිකාරය නිකන්ම වැටෙනවා. ඕක කෑලි කඩන්න දේකුත් නෑ. බෙදාහරින්න දේකුත් නෑ. ඕක ඉබේම වැටෙනවා. ඒක නිසා අපේ ප්‍රතිපත්තිය ජන විදුලි බලාගාර මගින් රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන්න. ඒ වගේම අපි එදා වැඩපිළිවෙලක් ගෙනාවා. විදේශික ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තියෙන් මන්නාරම් ද්‍රෝණියේ තියෙන ගෑස් ගේන්න. ඒ වැඩපිළිවෙල අපි නැවත යම්කිසි කාලයක් ගත වෙනවා. නමුත් ඒ වැඩපිළිවෙල අපි සාර්ථකව ක්‍රියාත්මක කරගන්න පුළුවන් වුණොත් විදේශීය ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක් දුන්නොත් මෙන්න තියෙනවා දේශප්‍රේමී බැඳුම්කරයක්. මේ බැඳුම්කරයට ඕගොල්ලන්ගේ ඩොලර් ටික දාන්න. ඒ ඩොලර් ටිකෙන් ඩොලර් මිලියන තුන්සීයක් අපි හොයා ගත්තොත්, මන්නාරමේ ගෑස් ටික කැළණිතිස්සට ගේන්න පුළුවන් ගෙනාවා නම් මේ රටේ අපි කාගෙන්වත් බලශක්තියෙන් යැපෙන්නේ නැති රටක් බවට මේ රට පත්වෙනවා. හිතනවද මේ කණ්ඩායමට ඕක කරන්න පුළුවන් කියලා. ආ. ඕක කරන්න පුළුවන් කියලා හිතනවද? එකට තුනේ අනුපාතෙට හොරකම් කරපු කට්ටියට ඔය වගේ වැඩක් කරන්න පුළුවන්ද? ඒ වගේම මේ කිසිම අධ්‍යාපනයක් නැතුව අර සමාජයක් තියෙන පාඩම කියාගෙන ඇවිල්ලා ටිකිරි මාරි විසඳුම් ඉදිරිපත් කරන, කයිවාරු කාරයින්ට මේක ඉදිරිපත් කරන්න පුලුවන්ද? බෑ. මේකට වෘත්තීය නිපුණතාවය සහිත පිරිසක් අවශ්‍යයි. ඒ පිරිස ගොඩනගලා තියෙන්නෙත්, ඒ පිරිස ඉන්නෙත් මේ එක්සත් ජනරජ පෙරමුණ තුළ විතරමයි.
මේ අවස්ථාවට එක් වූ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක, වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා;
“සමහරු අරගලයේ අයිතිය අමෙරිකන් තානාපතිනියට පවරනවා. මට නම් ජූලි 09 කියන්නෙ හරිම සුන්දර දවසක්. ජීවිතේ මතක හිටින දවසක්. අපිත් එක්ක එදා ගාලු මුවදොර අත්වැල් බැඳ ගෙන ගෝඨාභය රජය පරාජයට පත් කිරීම සඳහා ඉදිරියට ආපු බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. රාජපක්ෂලාගේ ප්‍රචණ්ඩ දේශපාලනය අවසන් කරපු දවස තමයි ජූලි 09. එදා ඒ පියවර ගත්තේ නැත්නම් අද අපි කාටවත් දේශපාලනය කරන්න රටක් ඉතිරි වෙන්නෙ නෑ. එදා අපි කළේ යහපතක්.
ගෝඨාභය රජය විසින් එදා අපි සිදු කරගෙන ආපු ව්‍යාපෘති සියල්ල ම නැවැත්තුවා. එදා ඒ ව්‍යාපෘති සම්පූර්ණ කරන්න ලැබුණා නම් අද රටට මේ ඩොලර් ප්‍රශ්නය එන්නේ නෑ. එදා හිටපු ව්‍යාපෘති ප්‍රධානියා අද ලංකාව හැර ගිහිල්ලා ඉන්දියාවෙ කි.මො. 3500 ක බඩු ප්‍රවාහන දුම්රිය මාර්ග ව්‍යාපෘතියක විදුලි සංදේශ ඉංජිනේරුවරයා ලෙස ඔහු වැඩ කරනවා. ඔන්න ඕකයි අපේ රටට අත්වුන ඉරණම. රටට ඩොලර් හිඟයක් ඇතිවුනා. එදා ගෝඨාභය රජය ගත්ත වැරදි තීරණ නිසා අපේ රට බංකොලොත් වුනා.
සුරංගනා කතාවලින් ආර්ථිකය හදන්න බෑ, ඒකට දියුණු වැඩපිළිවෙළක් අවශ්‍යයි. ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ මහතා රූපවාහිනී සංවාදයක දී කිව්වා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 8 ක් උපයන්න පුලුවන් කියලා. මම ඇහුවා ඇයි උපයන්න පුලුවන් ඩොලර් බිලියන 8 යි කියන්නෙ මොන නිර්ණායක අනුව ද කියලා. සිංගප්පූරුව කියන්නේ කොළඹ දිස්ත්‍රික්කය තරමේ රටක්. දවස් 3 න් සිංගප්පූරුව බලලා ඉවර කරන්න පුළුවන්. හැබැයි ඔවුන් සංචාරක ව්‍යාපාරයෙන් උපයනවා. අපි හරියට කළොත් අපිට පුළුවන් ඩොලර් බිලියන 8 කට වඩා උපයන්න.”
මීට අමතරව උත්සව සභාව අමතමින් එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික, මානව සම්පත් පුහුණුකරු. විශ්‍රාමික ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න, මධ්‍යම කාරක සභික, වරලත් ඉංජිනේරු අමිල් ප්‍රියන්ත, අරමුදල් සම්පාදන හා සාමාජික සුබසාධන නියෝජ්‍ය ලේකම්, මධ්‍යම කාරක සභික, ව්‍යාපාරික නන්දික බටේපොල යන මහත්වරුන් ද කතා කළ අතර, පිළිගැනීමේ කතාව එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් තරුණ අංශයේ සංවිධායක ඉසුරු උද්දීප මහතා විසින් ද, ස්තූති කතාව කුමාර ගජනායක මහතා විසින් ද සිදු කරන ලදී.
ජනරජ පෙරමුණේ ප්‍රමුඛ පෙලේ නායකයන්, මධ්‍යම කාරක සභා සාමාජිකයන්, ජාතික මණ්ඩල සාමාජිකයන් සහ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions