Home » පාර්ලිමේන්තුවේ දූෂණ වලට හා ආර්ථික අපරාධ වලට සම්බන්ධ නොවූ ගරු මන්ත්‍රීතුමන්ලාගේ එකමුතුවක්

පාර්ලිමේන්තුවේ දූෂණ වලට හා ආර්ථික අපරාධ වලට සම්බන්ධ නොවූ ගරු මන්ත්‍රීතුමන්ලාගේ එකමුතුවක්

by Plus One

ආර්ථික යුක්තිය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රථම වරට රැස්විය.

2022 අප්‍රේල් 12 වැනි දින, ශ්‍රී ලංකා රජය විදේශ ණය නොගෙවීමේ තීරණයත් සමග ස්වයං බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසු, ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික, සමාජීය, දේශපාලනික ගැටලු රැසක් පැන නැගී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය පවා අභියෝගයට ලක් කරමින් රටපුරා සමාජ පිපිරීම් ඇති වූ අතර, අර්බුදයේ වගකීම, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම දැරිය යුතු බවට සමාජ මතවාදයක් ඇති විය. මෙයින් පසු ශ්‍රී ලංකා රජය ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ද නිල වශයෙන් ඇතුළු වී, එය ක්‍රියාත්මක කරමින් තිබේ.
එහිදී අර්බුදයේ හේතුකාරක හා වගකිවයුත්තන් සෙවීම සඳහා, කිසිදු වැඩපිළිවෙලක් නොතිබීම හේතුවෙන්, අර්බූදයේ වගකීම දැනට සිටින, සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පැටවී ඇත. තවද ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ ක්‍රියාදාමයද සමාජ සාධාරණත්වයට එකගව සිදු නොවන බව අපට හැඟී ගොස් ඇත. එමෙන්ම මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආර්ථික පදනමින් වෙනස් කර ණයවර දරා ගත හැකි තත්ත්වයකට ගැනීමේ වැඩපිළිවෙළක් ද දක්නට නැත.
එහෙයින්
පළමුව, පාර්ලිමේන්තුවේ දූෂණ වලට හා ආර්ථික අපරාධ වලට සම්බන්ධ නොවූ ගරු මන්ත්‍රීතුමන්ලාගේ එකමුතුවකින්, සිටින හා ඉදිරියට පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැක ගැනීමටත් ඒ සඳහා ක්‍රියාශීලීව මැදිහත් වීමටත්.
දෙවනුව, සිදුකරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අංශයේ ප්‍රතිව්‍යුහගතකරණය, හා දේශපාලන ප්‍රතිසංස්කරණ වල දී සමාජ සාධාරණත්වයේ මූලධර්මය මත ක්‍රියා කළ යුතු බව අවධාරණය කිරීමටත්.
තෙවනුව, මධ්‍ය කාලීන ව හා දිගු කාලීනව ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර වර්ධනය කර, ණයවර දරා ගත හැකි තත්ත්වයකට පත්කර ගනිමින් ආර්ථික පීඩනයේ බරින් ජනතාව මුදා ගෙන, නව ආදායම් උපදවන නව ආර්ථික දැක්මක් නිර්මාණය කිරීම සඳහා වූ සංවාදයක් වෙනුවෙනුත්.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන අපි, පක්ෂ භේදයකින් තොරව ආර්ථිකය යුක්තිය උදෙසා පාර්ලිමේන්තු සංසදය නමින් වූ එකඟතාවයක් පවත්වා ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කර සිටිමු.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක,නීතිඥ දයාසිරි ජයසේකර,විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,අසංක නවරත්න,වාසුදේව නානායක්කාර,වෛද්‍ය උපුල් ගලප්පත්ති,වීරසුමන වීරසිංහ,නීතිඥ දුෂ්මන්ත මිත්‍රපාල,ලලිත් එල්ලාවල යන මහත්ම,මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී වත්මන් තත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී.

මෙම සංසදය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුකරන ලදී.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions