Home » දේශපාලන පක්ෂවල මූල්‍ය විනය ජනතාව ප්‍රශ්න කළ යුතුයි – රටේ රාළ

දේශපාලන පක්ෂවල මූල්‍ය විනය ජනතාව ප්‍රශ්න කළ යුතුයි – රටේ රාළ

by Plus One

පහුගිය දවස්වල හරි අපූරු සිදුවීම් පෙලක් රටේ ප්‍රදේශ කීපයකින්ම වාර්තා වුනා.ඒ වගේම ඊට සමාන තවත් සිදුවීම් හෙට දවසේත් වාර්තා වෙන්න පුළුවන්.ඇත්තටම මේවා රටේ බහුතර ජනතාවට ආශ්වාදනීය සිදුවීම් උනත් පවතින ආණ්ඩුවට සහ මහජන නියෝජිතයින්ට නං බොහොම අසුභ පෙර නිමිති පහල කරපු සිදුවීම් බව කියන්න ඕනි.

පහුගිය දවසක රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ වාහනය ඇක්ෂිඩන්ට් වුනා.ඒ අනතුරෙන් පස්සේ ජනතාව ඇවිත් වාහනයට පහර දීලා ලොකු හානියක් කළා.සාමාන්‍යයෙන් අපේ රටේ රිය අනතුරක් උනොත් ජනතාව වැරදියි කියලා හිතෙන පාර්ශ්වයට ගහනවා,හැබැයි දැන් ඒ තත්වය සෑහෙන දුරට අඩුයි.එදා සනත් නිශාන්තගේ වාහනය ඇක්ෂිඩන්ට් උන වෙලාවේ ජනතාව ඇවිත් වාහනය කුඩුපට්ටම් කළේ ඒක සනත් නිශාන්තගේ බව නොදැන නෙවෙයි.

සමහරවිට ඒක සනත් නිශාන්තගේ වාහනය නොවුනා නම් ඔයිට වැඩිය අඩු භානියකින් වැඩේ නතර වෙන්න ඉඩ තිබුණා.එතනදී ජනතාව පිට කළේ සනත් නිශාන්ත එක්ක තියන විරෝධය සහ වෛරය.රටේ රාළ ඒ ප්‍රහාරය අනුමත කරන්නේ නෑ.හැබැයි මහ පොලොවේ තියන යථාර්ථය තමයි ඒ.ඊළඟට ඔයාලට මතක ඇති වරාය සහ ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලටත් අමතක නොවෙන හූ සංග්‍රහයක් හම්බවුනා.

ඊට පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයයේ දේශපාලන බලවතුන් දෙදෙන්නටත් පත අට එක සිසුවා පෙරා ලුණු ඇඹුල් ඇතිව දෙනවා දැක්කා.හිටපු කැබිනට් ඇමති එස්.එම් චන්ද්‍රසේනට සහ එයාගේ මල්ලී හිටපු මහ ඇමති එස්.එම් රංජිත්ට දැවැන්ත ජනතා විරෝධයක් එල්ලවුනා.වතුර ෆිල්ටර් බෙදන්න හිහින් දෙන්නම යන්තං ගුටි නොකා බේරිලා ආව බවයි අපි නං දැක්කේ.එස්එම් පරණ විදිහට අතපය විසිකරලා මුලදීම ප්‍රශ්නය යට කරගන්න හැදුවත් ජනතා විරෝධය ඊට වැඩිය බලවත්.

අන්තිමට රංජිත්ට අයියවත් ඇදගෙන හූ හඩ මැද්දේ පසුබැහැලා පලා යන්න සිද්ධ වුනා.මේ ලිපිය ලියන මොහොත වෙනකොට ඒ ජාතියේ අභාවාචක අද්දැකීමකට රාජ්‍ය ඇමති චාමර සමිපතුත් මුහුණ දීලා තියනවා.චාමර බඩු බෙදන්න ගිය තැනකදී බරපතල නොසන්සුන්තාවයක් ඇති වෙලා බෙදන්ඩ ගෙනිච්චි බඩුත් උදුරගෙන චාමර පහුබැස්සා කියලා තමයි මාධ්‍ය වර්තා කරලා තිබුණේ.රටේ රාළ කියන්නේ චාමර සම්පත්ගෙන් ප්‍රශ්නය අවසන් නෑ.රටේ රාළට කියන්න තියෙන්නේ ඊළඟ පෝරියල් එකත් Coming Soon…..Await කියලයි

හොඳ හොඳ සෙල්ලං එළිවෙන යාමෙට කියලා තියනවානේ.මොකද ඔය සිද්ධි අනුකරණය කරන්න ජනතාව පෙලඹෙන එක නවත්වන්න බෑ.නිකං හිතන්නකෝ චාමර සමිපත්ට ඔහොම නං කෙහෙලිය වගේ කෙනෙක් බඩු බෙදන්න ආවොත් බඩු බනිස්ම තමයි.ඒ තරම් සමාජ විරෝධයක් සහ වෛරයක් මහපොලොවේ තියනවා.මෙතැනදී එකක් නං පැහැදිලියි.

ජනතාව දැන් බලන්නේ පොහොට්ටුවේද,නැද්ද කියලා නෙවෙයි,ජනතාව දැන් බලන්නේ ආණ්ඩුවේද නැද්ද කියන එකයි.මේ තත්වයට තව  වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා විපක්ෂයටත් මුහුණ දෙන්න වෙනවා.මේ ගොඩනැගෙන සමාජ විරෝධය හින්දා මැති ඇමතිලා,මන්ත්‍රීලා ජනතාව අතරට යන්න බයයි.මෙයාලා තවමත් ජනතාව අතරට යන්න පාව්චිචි කරගන්නේ පරණ යල් පැනපු ආකෘතියම තමයි.

දැන් ඒ ආකෘතිය ජනතාව ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි ඒවා උස්සගෙන එන මහජන නියෝජිතයෝ ප්‍රශ්න කරන්නත් ඉදිරිපත් වෙනවා. මෙතනදී දේශපාලනඥයා කොච්චර අපහසුතාවකට පත්වුනත් ජනතාවගේ පැත්තෙන් ඒ තියපු පියවර සාධනීයයි.ඒක හොඳම සවිඥානික විදිහට නොවෙන බව රටේ රාළත් පිලිගන්නවා, ගෝල්ෆේස් අරගලයෙන් ලංකිය සමාජයට දුන්න සාධනීය ලක්ෂණයක් විදිහට ජනතාවගේම මේ ඉදිරිපත්වීම සලකන්න පුළුවන්.

ඔයාලට මතක ඇති මීට ඉස්සෙල්ලා අවස්ථා කීපයකදී රටේ රාළ මැති ඇමති ප්‍රජාවට අනතුරු ඇඟවීමක් කළා.රටේ රාළට ආපු තොරතුරුවලට අනුව මැති ඇමතිවරු තවමත් තමන්ගේ අමාත්‍යාංශ ඇතුලේ බඩු බෙදන project හදමින් ඉන්නවා.ගමට යන්න බැරිකමට කඳ මලු බැදගෙන එන්න ලෑස්ති වෙනවා.රටේ රාළ දිගමට අනතුරු ඇඟෙව්වේ මේ පාර නං පරණ සෙල්ලමට ලෑස්ති වෙන්න එපා කියලයි.

ජනතාවට කිසිම බුරුලක් නොදී Tax ගහාලා,බඩු මිල වැඩි කරලා ආණ්ඩුව එකතු කරගන්න බදු සල්ලිවලින් කීයක් හරි යටි මඩි ගහගෙන ඇවිත්නේ මේ බඩු බෙදන්නේ.බඩු බෙදන්නේ මහජන මුදල් හොරාකාපු උන් බව දැන් ජනතාව දන්නවා.එහෙම හොරකම් කරගෙන ආපු මහජන මුදල්වලින් තමයි ටකරං දෙන්නේ,බඩු මළු දෙන්නේ,කක්කුස්සි පෝච්චි දෙන්නේ,සිල් රෙදි දෙන්නේ කියලා ජනතාව දැන් දැනුවත්.

මේක ආණ්ඩුවේ ඇමතිලා විතරක් කරන දෙයක් නෙවෙයි.විපක්ෂය කරන්නෙත් ඒකම තමයි.සජිත් කරන්නෙත් බඩු බෙදලා මිනිස්සු අන්දන එක. හැබැයි සජිත් ඒවට සල්ලි හොයාගන්නේ කොහෙන්ද කියලා සජිතුයි ජලනී හැර වෙන කවුරුවත් දන්නවද දන්නේ නෑ.ඒවා කොතනවත් විගණනයකට ලක් වෙලා නෑ.ඒවා සජිත්ගේ රට යාළුවෝ දුන්නද,මෙරට යාළුවෝ දුන්නද.නිධන් කඩලා ගත්තද කියලා රටේ ජනතාව දන්නේ නෑ. ජවිපෙ වගේ පක්ෂයක් ජනතාවට මොකුත්ම දෙන්නේ නෑ.

හැබැයි ජවිපෙ මීට ඉස්සෙල්ලා අනිත් පක්ෂවලට කරපු මුදල් නාස්තිය සම්බන්ධ විවේචනය අද ඊටත් වැඩිය සිය දහස් ගුණයකින් ජවිපෙ කරමින් ඉන්නවා.ජවිපෙ එක මැතිවරණය රැස්වීමකට මිලියන 100 ක කිට්ටු මුදලක් වියදම් කරනවා.ඒවා කාගේ සල්ලිද?කොහෙන් ආපුවද කියලා ජවිපෙ කියන්නෙත් නෑ.දැන් ජනතාව මහජන නියෝජිතයින්ගේ සහ දේශපාලන පක්ෂවල මූල්‍ය ක්‍රියාවලිය සම්බන්ධව ලොකු උනන්දුවක් දක්වනවා.ඒවා ප්‍රශ්න කරනවා.දැන් මැති ඇමතිලාගේ බඩු බෙදන project අවුල් වෙලා.

නම දාගෙන බෝඩ් ගාගෙන ගමට එනකොට මිනිස්සු ඇවිත් මේ සල්ලි කාගෙද කියලා අහන්න පටන් අරන්,ඇමති අතින් දාපුවද,නැත්තං ඇමතිගේ අම්මගේ අප්පගේ බූදලයෙන් ගෙනාපුවද කියලා අහන තරමට ජනතාව ඉදිරියට ඇවිත්.ඇමතියා මේවා අපේ බදු මුදල්වලින් යටි මඩි ගහපුවා කියලා දැන් ජනතා දන්නවා.ඒක නිසා මේ ඡන්දෙදී කාටවත් වෙස්සන්තර වෙන්න,අනේපිඬුලා වෙන්න නං බෑ.

ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ ජන්ද කැමිපේන් එක ගොඩදාන්න හදන මැති ඇමතිලාට දැන් ජනතාව ප්‍රතිචාර දක්වන්න පටන් අරන්.ඒ අර්ථයෙන්ම ජනතාවගේ මැදිහත්වීම අගය කරන්න ඕනි.ඒ වගේම මේ ප්‍රශ්න කිරීම මෙතනින් නතර වෙන්නේ නෑ.ආණ්ඩුව වගේම විපක්ෂයත් තව වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න කිරීමට ලක් වෙනවා.එතනදී සජිත්ට සක්වලට සල්ලි ලැබෙන්නේ කොහොම කියලා රට කියන්න වෙනවා.

ජවිපෙට මිලියන සිය ගණන් මුදල් ප්‍රචාරක කටයුතු කරන්න යොදවන්නේ කොහෙන්ද?කාගෙන්ද ඒ සල්ලි එන්නේ කියලා ජනතාව දැනගන්න ඕනි.ඒ වගේම අලුත් වෙස්සන්තරලා විදිහට ජනාධිපතිවරණට ඇවිත් ඉන්න කෝටිපති ව්‍යාපාරිකයන් දෙන්නත් පෙන්නන්න ඕනි තමන් මේ මැතිවරණ ක්‍රියාවලිය යොදවන්නේ සාධාරණව උපයා ගත් මුදල් කියලා.ධම්මික වගේම දිලිතුත් ඒක කරන්න ඕනි.මේ සියලු දෙනාගේම තොරතුරු සාක්ෂි සහිතව රටට ඉදිරිපත් කරන්න රටේ රාළ බළකාය ලෑස්තියි.

මොකද ජනතා බදු මුදල්වලින් පඩි ගන්න මහජන නියෝජිතයන් සහ මහජන නියෝජිතයන් වෙන්ඩ බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ මූල්‍ය විනය සම්බන්ධව අනිවාර්ය පරීක්‍ෂාවකට ලක් කරන්න ජනතාව අයිතියක් තියනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions