Home » ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්‍රමසිංහ – රටේ රාළ

ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්‍රමසිංහ – රටේ රාළ

by Plus One

කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමෙන් පස්සේ පුරප්පාඩු උන පරිසර අමාත්‍ය ධූරය ජනාධිපති රනිල් යටතට පත්වුනා.රනිල් පහුගිය 20 වෙනිදා පරිසර රාජ්‍ය ඇමති විදිහට පලාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර පත්කළා.රනිල්ගේ මේ පත්කිරීමෙන් පෙනෙන්නේ රනිල් කැබිනට් සංශෝධනයකට යන්න සුදානම් නෑ කියන එකද?

රනිල් කැබිනට් සංශෝධනයක් කරනවා නං ඒක ඇතුලේම පරිසර රාජ්‍ය ඇමති පත්කිරීමත් කරන්න තිබුණා.හැබැයි ජානක වක්කුඹුර වෙනම පත්කිරීමෙන් රනිල් පෙන්නන්නේ කැබිනට් සංශෝධනයක් නෑ කියන එකද කියන සැකය රටේ රාළට නං එනවා.කැබිනට් සංශෝධනයක් කරනවා නම් රනිල්ට ඒක කරන්න හොඳම කාලය තමයි මේ. ඒකෙන් රටේ රාළ කියන්නේ කැබිනට් සංශෝධනයක් ඕනි කියලා නෙවෙයි.

ඇත්තටම කැබිනට් රීෂෆල් එකක් දැන් ඕනි නෑ. රනිලුත් හිතනවා ඇති මේ මාස පහ හය මේ කැබිනට් එකම තියාගෙන යන්න.මොකද දැන් එක්කෙනෙකුට ඇමතිකමක් දුන්නොත් තව පස් දෙනෙක් තරහා වෙනවා.මැතිවරණයක් කට උඩ තියාගෙන රනිල් ඒ තත්වය උදා කරගන්න එකක් නෑ.මේ රටේ ඇත්ත ප්‍රශ්නය කියන්නේ ඇමතිකම් ටිකක් දිලා ලොකු කැබිනට් එකක් හදන එක නෙවෙයි.මේ රටේ ජනතාව දැන් ඉල්ලන්නේ තියන මොන අටමඟලයක් හරි පාවිචිචි කරගෙන රටේ ප්‍රශ්නවලට උත්තර දීපල්ලා කියන එකයි.

මේ රටේ තවමත් වල් වැදිලා තියන System එක හරිගස්සන වැඩේ නොකර කාට කැබිනට් ඔටුනු පැලැන්දුවත් වැඩක් නෑ.ඇත්තටම කැබිනට් ඊෂෆල් එකට නෙවෙයි රනිල් බර තියන්න ඕනි මේ රටට අවශ්‍ය අත්‍යවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට.එහෙම නැතිව පොහොට්ටුවේ හරි විපක්ෂයේ හරි ඉන්න කාට හරි කැබිනට් ඇමතිකම් දෙන්න නෙවෙයි.

මේ තියන කැබිනට් එකෙන් කරන දෙයක් කරන ඒක තමයි රනිල්ටත් හොඳම.දැනට තියන අවම එකඟතාවයන් හරි පාවිච්චි කරලා ප්‍රතිසංස්කරණ පාත් එකේ යන එක හැර රනිල්ට වෙන උත්තරයක් නෑ.ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගේන්න ඕනි අණපනත් ටික පාර්ලිමේන්තුවට ගේනවා නම් ඒවා පරාද වෙන්නේ නෑ.ඕනි නං තුනෙන් දෙක ගන්නත් පුළුවන්.මොකද හරි දේකට කාටවත් විරුද්ධ වෙන්න බෑ.

ඇත්තටම රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටිකට කරගන්න මේ වටපිටාවත් නරකම නෑ.ඒක පාවිචිචි කරගන්න රනිල් දැන ගන්න ඕනි.ඊළඟට නිර්මාණය වෙන පාර්ලිමේන්තුව තුනට හතරට බෙදිලා මොකවත් කරගන්න බැරි පාර්ලිමේන්තුවක් වෙන්නත් බැරි නෑ.සමහරවිට ඒක මීටත් වැඩිය ලොකු ඇණයක් වෙන්නත් බැරි නෑ.මේක තමයි ආපු හොදම අවස්ථාව විදිහට සලකලා ඒ අවශ්‍ය තීන්දු තීරණ ටික ගන්න රනිල් දක්ෂ වෙන්න ඕනි.

රනිල් තමන්ට තේරෙන විදිහට රටට යමක් කරන්න හදන බව පේනවා.හැබැයි ඒකට ඕනි කරන සහය හම්බ වෙනවද කියන ප්‍රශ්නය මෙතන බරපතල විදිහට තියනවා.දේශපාලනය පැත්තෙන් එහෙම ලොකු සපෝට් එකක් රනිල්ට නෑ.දැන් මේ රටේ ඉන්න දේශපාලනඥයෝ ඔක්කොම ඉන්නේ තමන්ගේ ඊළඟ කට්ටය පැනගන්නේ කොහොමද කියන තැනක මිසක් රට ගොඩදාන්න ඕනි කියන තැනක නෙවෙයි.

ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බේරගන්නේ කොහොමද කියලා හීන දකින මේ මහත්වරු මේ අවසන් අවස්ථාවේ හරි රටට දිනලා දෙන්න ඕනි ජයග්‍රහණ ගැන කල්පනා කරන්නේ නෑ.සමහරු අගමැති හීනවල,සමහරු මැති ඇමති හීනවල, තවත් සමහරු ජාතික ලයිස්තු හීනවල.හැබැයි මේ අවස්ථාව හරියට පාවිච්චි නොකර තමන්ගේ ගමන ගැන විතරක් හිතනවා නං ජනතාව එයාලා ගැනත් බලාගනියි.

මේ දවස්වල චම්පික මතු කරගෙන යන විවේචන ටිකක් තියනවා.චම්පිකගේ ආර්ථික පුරෝකථන ඒ විදිහටම සත්‍ය නොවුනත් ඒ පැහැදිලි කිරීම්වල ගන්න සිද්ධිමය කාරණා ටිකක් තියනවා.අපේ ණය හිමි කණ්ඩායම් තුනක් ඉන්නවා.ඒ බහු පාර්ශ්වීය, ද්වී පාර්ශ්වීය සහ පුද්ගලික ණය හිමියන්.මේ සියලු පාර්ශව එක්ක ණය ප්‍රති ව්‍යුහගතකරණට අදාල ක්‍රියාමාර්ග තවමත් බේරගෙන අවසන් නෑ.

විශේෂයෙන්ම පුද්ගලික ණය හිමියන් එක්ක තවමත් එකඟතා හදාගෙන නෑ.මේ කාරණාව සම්පුර්ණ කරගන්න බාරිවුනොත් ආයෙත් අපේ මූල්‍ය කටයුතු සම්බන්ධව තියෙන විශ්වාසය බිඳ වැටෙනවා.එහෙම උනොත් IMF ඊළඟ වාරිකය හමුව්ම ගැන පවා ප්‍රශ්නයක් වෙනවා.ඒවාට අදාල පියවරයන් වහාම ගන්න වෙනවා.දැන් IMF කොන්දේසි සම්පූර්ණ කරන්න හිටු කියලා බදු ගහගෙන යනවා.

රටේ මූල්‍ය ක්‍රියාවලියට ඒක හිතකර උනාට ජනතාවගේ පැත්තෙන් ඒක අහිතකරයි.හැබැයි ජනතාවට හිතකර පියවරවලටට යන්න මෙයාලගේ තියන උනන්දුව හරිම අඩුයි.ආයෙත් අර පරණ විදිහටම අයාලේ යනවදෝ කියලා සැකයත් මෙතන හිතෙනවා.උදාහරණයක් ගත්තොත් පාර්ලිමේන්තු පනතකින් මහ බැංකුව ස්වාධීන කළා.ඒක රටේ අත්‍යවශ්‍ය දෙයක් කියලයි කිව්වේ. හැබැයි මහ බැංකුවේ කට්ටිය දැන් මොකද්ද කරලා තියෙන්නේ.

රට ගොඩදාන්න ඉස්සෙල්ලා තියන ලොකුම හැන්දෙන් එයාලට බෙදාගෙන.රටේ මහජනතාවට පටි තද කරගන්න කියන මානසිකත්වය හදන මහ බැංකුවේ කට්ටිය තමන්ගේ පඩිය ලක්ෂ ගණන්වලින් වැඩි කරගෙන.එතකොට මහ බැංකුව ස්වාධීන කිරීම එයාලා අරන් තියෙන්නේ එයාලගේ මල්ල පුරෝගන්න.රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය ඇතුලේ හදලා තියන මේ system එක කොයි තරම් ද
අසාධාරණද?

තවත් උදාහරණක් විදිහට රේගුව ගත්තොත්,දැන් ආයෝජන කර්මාන්ත පටන් ගගන්න ඒවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්න ගන්න ඕනි.එතකොට රේගු නිලධාරීන් එයාලා හදාගෙන තියෙන reward system එකට තමයි වැඩ.සමහර ගේන අමුද්‍රව්‍ය බොරුවට reward system එකට දානවා.රටේ නිෂ්පාදන අවශ්‍යතාවය සදහා කර්මාන්තවලට ලබාදෙන්න ඕනි අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යවලට පවා හරි බදු ප්‍රතිපත්තියක් හැදිලා නෑ.

ඒක අස්සේ වංගු ගහලා ඒවා අයතා පැමිණීම් හැටියට සලකලා ඒවා reward system එක හරහා තමයි ගන්නේ.එතකොට බඩුවලට විශාල tax එකක් වදිනවා.ඒ මුදලින් වැඩි පංගුව නිළධාරීන්ගේ සුඛවිහරණයට යන විදිහට ක්‍රමය හදාගෙන.මේ වගේ තියන කාලකණ්නි ක්‍රමවේද එක්ක රටේ නිෂ්පාදනය දියුණු කරන්න බෑ.නිෂ්පාදනය ක්‍රියාවලිය දියුණු කරන්නේ නැතිව කොහොමද රටට ආදායම් හොයන්නේ.

මේවයින් වෙන්නේ ඒ සහනය නිෂ්පාදකයට යන්නෙත් නෑ.බදු ආදායම ආණ්ඩුවට එන්නෙත් නෑ. අතරමැද කණ්ඩායම් හූරගෙන කනවා.මේකත් හරියට අර පොලීසියට දඩ ගැහුවම ගානක් හම්බ වෙනවා වගේ.එතකොට පොලිස් නිලධාරියා කරන්නේ නැති වැරදිත් හොය හොයා දඩ ගහන එකයි.මේ වගේ කාලකණ්ණි ක්‍රම වේද ටිකක් මේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියනවා.

මේ උදාහරණ දෙක තුනක් විතරයි.මේවා නිරවුල් කරන්නේ නැතිව,මේවට ඕනි කරන නීති රීති අණ පණත් ටික හරියට පිලිසකර කරන්නේ නැතිව මේ ගමන යන්න බෑ.සෞඛ්‍ය සේවයේ වෙනම කුට්ටියක් දොස්තරලට දුන්නා.සෞඛ්‍ය ක්ෂේත්‍රය සියලු ප්‍රජාවන් කැපකීරීම් කරද්දී දොස්තරලට විතරක් එහෙම කරපූ එක වැරදියි.

ඒකෙන් උනේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවත් කඩා වැටීමයි.අවසානයේ ඩෑමේජ් එක වෙන්නේ අසරණ ලෙඩ්ඩුන්ට.මේවා ගැන ක්‍රමවත් වැඩපිලිවෙලක අවශයතාවය තියනවා.මේක කැබිනට් එක ඇතුලේ වෙන්නේ නෑ.කැබිනට් එකට උපදෙස් දෙන්න ඉන්න උපදේශකයෝ මේ සමස්ථය සළකලා නෙවෙයි උපදෙස් දෙන්නේ.ඇත්තටම මෙතන තියන ප්‍රශ්න මුදල් ඇමති හැටියට වික්‍රමසිංහගෙන් මේවට අවසර ගන්නේ මොනවා කියලද කියලයි.

මෙතන සමාජ සාධාරණත්වය කෝ.රනිල් ඒවාට අවසර දෙන්න තරමට නොතේරෙන පුංචි බබෙක්ද?ජනාධිපති රනිල් කියන සාධාරණත්යට එරෙහි මේ වගේ ක්‍රියාමාර්ගවලට අවසර දෙන්නේ මුදල් ඇමති වික්‍රමසිංහයි.ජනාධිපති රනිල්ලුත් පුළුවන් පුළුවන් එකාට පුළුවන් පුළුවන් ප්‍රමාණයෙන් කඩා වඩා ගන්න ඉඩ ඇරලා බලා ඉන්නවද කියන සැකය වේගයෙන් සමාජයට කාන්දු වෙමින් තියනවා. ජනාධිපති රනිල් සහ මුදල් ඇමති වික්‍රමසිංහ අතර ලොකු වෙනසක් තියනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions