Home » ජනාධිපති රනිල්ගේ අපූරු ආර්ථික ව්ද්‍යා න්‍යාය සහ භූමියේ යථාර්ථය ….

ජනාධිපති රනිල්ගේ අපූරු ආර්ථික ව්ද්‍යා න්‍යාය සහ භූමියේ යථාර්ථය ….

by Nipuna Fernando

ජනාධිපති හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ ඔක්තෝබර් 6 වන දින සූත්‍ර පිටකයද උපුටා දක්වමින් ඉදිරිපත් කල ආර්ථික විග්‍රහය පිළිගත් වෙළෙඳපොළ විචල්‍ය සංකල්ප සම්බන්ධව ආර්ථික විද්‍යාඥයන්ට නැවත සිතීමට කරුණු කිහිපයක් කියා දෙයි.

ලංකාවේ උද්ධමනය (Headline Inflation ) 70% වන විට ආහාර උද්ධමනය (Food Inflation ) 94.9% වී ඇති බව මහබැංකු දත්ත වල පෙන්වා දී තිබෙනවා. (අගොස්තු 30 වන විට උද්ධමනය 70.2% පැවති බව ඊයේ මහ බැංකුව වාර්තා කොට තිබුණා) https://cbsl.gov.lk හැකිළී ඇති වෙළෙඳපොළක පාරිභෝගික භාණ්ඩ සඳහා මිල පාලනය කිරීමකට යන බව තමයි ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වුනේ. එහිදී ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක විය හැකි එක් කරුණක් වන්නේ භාණ්ඩ හා සේවා සැපැයුම අඩාල වීමයි. උදාහරණයක් හැටියට මීට පෙර කිහිප වතාවක් සහල් මිල පාලනය සඳහා ගැසට් 6-8 ත් අතර ප්‍රමාණයක් නිකුත් කලා ඔබට මතක ඇති. යම් අවස්ථාවල ගෝටාභය රාජපක්ෂ ජනාධිපති වරයා සිවිල් පාරිභෝගික මිල නියාමන නිළධාරීන් වෙනුවට ඒ තනතුරු සඳහා හමුදා ජනරාල් වරුන් කීප දෙනෙක් පත්කොට සහල් මිල පාලනය කිරීමට උස්සාහ කලා ඔබ දකින්නට ඇති . එහෙත් ඒ සෑම අවස්ථාවකම සහල් වෙළෙඳපොළ කතිපයාධිකාරය (Oligapoly) ඔවුන්ට වඩා ප්‍රබල උනා. රජයට ගැසට් පත්‍රිකා සියල්ල ආපසු කැඳවීමට සිදුවුණා.

මේ අන්දමටම කිරිපිටි මිල පාලනය සඳහා ගැසට් කිහිපයක් නිකුත් කල බව ඔබ දන්නවා ඇති . අවසානයේ දේශීය කිරිපිටි නිෂ්පාදකයින් සහ කිරිපිටි ආනයන සමාගම් ඔවුන්ගේ කතිපයාධිකාරී බලය පාවිච්චි කරමින් වෙළෙඳපොළ කෘතීම හිඟයක් ඇති කිරීම තුල විශාල පෝලිම් රට පුරා ඇති වුනා . අවසානයේ රජයට එම ගැසට් ඉවත් කර ගැනීමට සිදුවුනා. ඉන් පසු දේශීය කිරිපිටි නිෂ්පාදකයින් ඇතුළු සියළු ආනයන කරුවන් මිල වැඩි කලේ පාරිභෝගිකයාට තරුපේන ගණන් වලින්. පාන් පිටි, සීනි , සිමෙන්ති වැනි පාරිභෝගික භාණ්ඩ වලටත් එයමයි සිදුවුණේ. ලංකාවේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ ඒකාධිකාරයන් සහ කතිපයාධිකාරයන් පවතින තාක් කල් මිල පාලනයෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි. කල යුත්තේ හැකි තාක් වෙළෙඳපොළ භාණ්ඩ සුලභ කිරීමයි. එහෙත් එයටත් විනිමය බාධා තිබෙන බව සත්‍යක්.

එසේ නම් ජනාධිපතිගේ මිල පාලනය තවත් “කුස්සියේ විලාපයක” ආරම්භයක් වෙන්නට බැරිද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ පෙරෙයිදා පාර්ලිමේන්තු කතාවේදී ප්‍රකාශ වූ තවත් එක් කරුණක් වූයේ “A more healthy open market system will be established” ඉතා යහපත් විවෘත ආර්ථික වෙළෙඳපොළ ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරනවා” යන්නයි. එහෙත් ඔහුගේ එම කතාවේම වෙළෙඳපොළ පාලන ක්‍රියාමාර්ග හඳුන්වා දෙන බව කීම කොතෙක් දුරට ඔහුගේ වෙළෙඳපොළ ප්‍රතිපත්ති අතර ගැලපීමක් තිබෙනවා ද කියා විමසා බැලිය යුතුයි. පාරිභෝගිකයා ආරක්ෂා කිරීම රජයේ වගකීම බව හැබෑව. එහෙත්, වෙළෙඳපොළ හකුලා , මිල සීමා කිරීම තුල ඇති විය හැකි ඵලවිපාක අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපති වරයා කියූ තවත් කරුණක් වූයේ තැන්පතු පොලියට සීමාවක් (Deposit Interest Cap) දැමීමට කටයුතු කරන බවයි. දැනට 22%-28% දක්වා ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලිය අඩු කිරීමට ඔහු බලාපොරොත්තු වනවා විය හැකියි. ඒ වගේම මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය දැනට ස්ථාවර මට්ටමේ තබා ගෙන යාමට මූල්‍ය මණ්ඩලය ගත් තීරණය වෙනස් කරවීමට ඔහු අදහස් කරනවා විය හැකියි . ජනාධිපති වරයා එයින් බලාපොරොත්තු වනු ඇත්තේ ජනයා අතර මුදල් ගැවසීමට සලස්වා අතිරික්ත මුදල් වෙළෙඳපොළට කැඳවා ගැනීම සහ වෙළෙඳපොළ සක්‍රීය කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන අවස්ථා බහුල කිරීම විය හැකියි. එහෙත් , මෙවන් වකවානුවක එය එසේ සිදුවෙයිද ?

මූල්‍ය වෙළෙඳපොළ අකර්මණ්‍ය වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ සැපැයුම් ජාල බිඳ වැටීම, උද්ධමනය ඉහළ යාම, ආනයන සීමා කිරීම , විදේශ විනිමය නොමැති වීම , ආයෝජන ඇන හිටීම හා නිෂ්පාදන කර්මාන්ත ඇනහිටීමය. ශුද්‍ර, කුඩා, හා මධ්‍යම කර්මාන්ත (MSME) කඩා වැටීම තුල බැංකු වල අක්‍රිය ණය (NPL) ප්‍රතිශත ඉහළ යාම, ණය ගැනීම නැවතීම සහ බැංකු ණය දීමට උනන්දු නොවීම තුල ආර්ථිකය හැකිළීම යනාදියත් මෙයට බලපෑ බව අමුතුවෙන් කිව යුතු නැත . පසුගිය දා IMF කල පුරෝකථනයට අනුව ආර්ථිකය -8.5% ප්‍රමාණයකට හැකිලීමට නියමිතව තිබූනත් ඊයේ ලෝක බැංකුව ලංකාව සම්බන්ධව නිකුත් කල නවතම වාර්තාවට අනුව දෙසැම්බර් වන විට -9.2% කින් ආර්ථිකය හැකිලෙන බව ප්‍රකාශ කරනවා. https://www.worldbank.org>country>srilanka
මෙවන් තත්ත්වයක් තුල , ජනාධිපති වරයා පාර්ලිමේන්තුවට කුමක් ප්‍රකාශ කලත්, මිල පාලනයෙන් හෝ පොලියට “කැප්” දැමීමෙන් භූමියේ සිදුවෙමින් තිබෙන යථාර්ථය බොහෝ සෙයින් වෙනස් බව ඔහු නොදනී.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඔක්තෝබර් 06 වන දින ප්‍රකාශ කරන අන්දමට බැංකු පොලී අනුපාතයට වඩා ව්‍යාපාර වලට බලපාන්නේ ඉහළ යන උද්ධමනය යි. https://economynext.com>sri-lanka-inflation-bigger-than-interest-rates-cb-governor-100798/ ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ බැංකු පොලිය ව්‍යාපාරයේ සමස්ත පිරිවැයෙන් 4%-5% විය හැකි බවත් යම් විටෙක එය උපරිම 7%-8% වනු ඇති බවත් ය. එහෙත් , අමුද්‍රව්‍ය මිල , ප්‍රවාහනය , වැටුප් යනාදිය සමස්ත පිරිවැයෙන් 95% පමණ වන බව ඔහු කියයි. මේවායේ මිල මට්ටම් උද්ධමනය හේතුවෙන් තවත් ඉහළ යන බව අධිපති වරයා ප්‍රකාශ කරයි. ඔහු නිවැරැදිව ප්‍රකාශ කරණුයේ පවතින පොලිය භාගයකින් අඩුකල හොත්, 5% පිරිවැයෙන් භාගයක් අඩුවිය හැකි වුවත් උද්ධමනය හේතුවෙන් අනෙකුත් අමුද්‍රව්‍ය පිරිවැය දෙගුණ විය හැකි බවත් ය. අධිපති වරයා අනතුරු හඟවන්නේ පොලී අනුපාත අඩුකිරීමට රජය කටයුතු කලහොත් උද්ධමනය 100% ක් වන එක නොවැළැක්විය හැකි බවත් , එවිට සේවක වැටුප් වැඩි කල යුතු බවත් , අමුද්‍රව්‍ය මිල ඉහළ යා හැකි බවත් , විනිමය අනුපාත පහල (Depreciate ) යා හැකි බවත් ය. මෙයින් පැහැදිලි වන තවත් කරුණක් නම් මහබැංකු අධිපති වරයා පල්ලමට යන වාහනය බ්‍රේක් ගසා නවතා ගැනීමට කොතෙක් උස්සාහ දැරුවද “බේබි” වඩාගෙන වැල් පාලමට ගොඩවුන ගෲෂා වාහනයේ බ්‍රේක් පැඩ්ල් එක ගලවාගෙන යෑමට සෑම විටම උස්සාහ කරන බවයි .

අවසාන වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට කීමට ඇත්තේ මෙපමණ යි.

Mr President , Cutting Interest Rates at this time is like a surgery- you only do it if you must, and you avoid it if it might do more harm than good.

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රෙඩින් විශ්වවිද්‍යාලය, එංගලන්තය
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය SLIDA

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions