Home » ජනාධිපතිවරයා විසින් යෝජනා කරන සත්‍ය හා සංහිඳියා කොමිසම – සමන් සෙනෙවිරත්න

ජනාධිපතිවරයා විසින් යෝජනා කරන සත්‍ය හා සංහිඳියා කොමිසම – සමන් සෙනෙවිරත්න

by Plus One

සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (11ජූලි 2023) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය (IRES) නියෝජනය කරමින් මමද සහභාගී වීමි. තවද අප සංවිධාන ජාලය නියෝජනය කරමින් මුජීබ් මවුලවිතුමා, ධම්මික ලක්ෂ්මන්, සෙන්දිල් සිවඤානම්, සචිත් නන්ද්‍රජිත් සහ සදිස් කුමාර යන අය සහභාගි විය.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දකුණු අප්‍රිකානු සත්‍ය සහ සංහිඳියා කොමිසම (South Africa TRC) වැනි යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා අදහස් කරන අතර ඒ සඳහා දකුණු අප්‍රිකාව සහ ජපානය වැනි රටවල සහයෝගය ලබා ගන්නා බවයි. මෙම යාන්ත්‍රණය දේශීය විනිසුරුවන්ගෙන් සමන්විත වන අතර විදේශීය නිරීක්ෂකයින්ගේ සහයෝගයද ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

සමන් ඒකනායක මහතා අදහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා සෑම කාලයකදීම ජාතික සංහිඳියාව ගොඩනැංවීම පිළිබඳව කටයුතු කර ඇති බවය. ඒකනායක මහතා එසේ පැවසුවද වික්‍රමසිංහ මහතාගේ දේශපාලනික ප්‍රකාශ සහ භාවිතය පිළිබඳ සිවිල් සමාජයට ඇත්තේ වෙනස් වූ මතයකි. ඔහු බොහෝ දේ කතා කලත් ක්‍රියාවට නංවන්නේ වෙනත් දෙයකි. මෙය වික්‍රමසිංහ මහතාට පමණක් සීමා වූ දෙයක් නොවේ. පසුගිය කාලය තුළ ජනාධිපතිවරුන් සහ වරියන් විසින් පත් කළ කොමිෂන් සභා පිළිබඳ ජනතාව තුළ එතරම් විශ්වාසයක් නැත. ජනතාව තුළ පවතින මතය වන්නේ ආණ්ඩු මෙවැනි කොමිසන් සභා පත් කරනු ලබන්නේ ජාත්‍යන්තර බලපෑම් හෝ සුළුතර ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිව බවය. උදාහරණයක් ලෙස 1988/89 කාලයේ රටතුළ පැවැති භීෂණය නිමා කිරීමෙන් පසු තරුණ අසහනය පිළිබඳ පත් කළ කොමිසම, යුද්ධය පැවැති කාලයේ පත් කළ උදලාගම/පරණගම කොමිසම, යුදුධයෙන් පසුව පත් කළ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම (LLRC) වැනි ජනාධිපති කොමිෂන් ගෙනහැර දැක්විය හැකිය.

මෙවැනි කොමිෂන් වලින් ලබාදී ඇති අවම නිර්දේශ පවා ක්‍රියාත්මක කිරීමට පැවැති රජයන් උත්සුක වී නැත. ඇමතිවරයා පවසන පරිදි මෙම යාන්ත්‍රණයෙන් රජය අපේක්ෂා කරනු ලබන්නේ පහත සඳහන් කරුණුය.

1. සත්‍ය සොයා බැලීම
2. රට තුළ සංහිඳියාව ගොඩනැංවීම
3. වගවීම
4. හානිපූර්ණය කිරීම
5. ආයතනික ප්‍රතිසංස්කරණය

උක්ත අරමුණු මෙවැනි කොමිසමක් හරහා ලඟාකර ගැනීමට හැකි වන්නේ රජය තුළ ඇති අවංකභාවය සහ කැපවීම තුළින් පමණි. මෙය ජනතාව රැවටීමට හෝ ජාත්‍යන්තරය රැවටීමට ගන්නා පහත් උත්සාහයක් ලෙස භාවිතා කළහොත් උක්ත අරමුණු කරා ලඟා විය නොහැක. මෙම කොමිසමට දැනටමත් තාවකාලීකව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බව පෙනේ. ඔහු සහ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද කරුණු වලින් පෙනී ගියේ මෙම කොමිසමේ වරම 1983 ජුලි සිට 2009 මැයි දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවෙි පැවැති යුද්ධයෙන් වින්දිතභාවයට පත්වූවන්ගේ පැමිණිලි විමර්ශණය කර ඔවුන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම වේ.

මෙම කොමිසම සාමාජිකයින් 21 දෙනෙක්ගෙන් සමන්විත වන බව ඔවුහු පවසති. කොමිසම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇත. ඉහත සඳහන් කළ පරිදි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇත. සාක්ෂි විභාග කිරීම සඳහා මධ්‍යගත කාර්යාලයක් සහ පළාත් කාර්යාල ස්ථාපනය කරන බව ද ඔවුහු පැවසූහ. මෙම ක්‍රියාවළිය තුළින් සත්‍ය සොයාබැලීමේ යාන්ත්‍රණයක් සැකසීම, ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම, සාමය සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, සහජීවනය සඳහා මග පෙන්වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ඔවුහු ප්‍රකාශ කළෝය.

දකුණු අප්‍රිකානු සත්‍ය සහ සංහිඳියා කොමිසම දැනට ලෝකයේ පැවැති සාර්ථකම කොමිසම බව දේශපාලන විද්වතුන්ගේ මතය වේ. එම කොමිසම 1995 වසරේදී ස්ථාපනය කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාය. මෙම කොමිසමේ සභාපති ධූරය හෙබවූවේ බිෂොප් ඩෙස්මන් ටුටූය. මෙම කොමිසම ලෝකයේ පැවැති අනෙකුත් කොමිෂන් වලට වඩා වෙනස් වන්නේ සිද්ධි විමර්ශනයකර ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය සහ සීමාසහිත අධිකරණ බලය හිමිව තිබීමයි. ලෝකයේ පැවැති අනෙකුත් සත්‍ය සහ සංහිඳියා කොමිෂන්වලට අධිරකරණ බලය හිමිව නොතිබුණි. දකුණු අප්‍රිකානු කොමිසමට සීමාසහිත අධිකරණ බලය හිමිව තිබූ බැවින් ගැටුමේ අපරාධකරුවන්ට සමාවදීමට වින්දිතයින් එකඟවන්නේ නම් ඔවුනට එසේ සමාව දී මට හැකියාව තිබුණි. එලෙස සමාව ලැබූ සංඛ්‍යව 1500 පමණ වේ. විදේශ ඇමති අලි සබ්‍රි මහතා පවසන්නේ එසේ සමාව දීමේ බලයක් රජය විසින් ස්ථාපනය කිරීමට අපේක්ෂිත කොමිසමට නැති බවයි. තවද සාක්ෂිකරුවන්ට බියෙන් සැකයෙන් තොරව නිදහසේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කරන බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් පිළිබඳ රටේ සිවිල් සංවිධානවලට එතරම් විශ්වාසයක් නොමැත. නංගි පෙන්නා අක්කා දීමේ න්‍යාය අපි නිරතුරුවම දේශපාලනඥයින් තුළින් වසර ගනනාවක් තුළ අත්විඳ ඇත. ජනාධිපතිවරයා විසින් ගන්නා මෙම උත්සාහය එක්වරම බැහැර නොකර වින්දිතයින් සූදානම් කිරීමේ කාර්ය සහ විදේශය නිරීක්ෂකයින්ට බලපෑම් කරීමේ ක්‍රියාවලියක සිවිල් සමාජයට නිරත විය හැකිය. එහෙත් රජයේ දේශපාලන න්‍යාය පත්‍රයට පිටින් මෙම සිවිල් සමාජ ක්‍රියා කළ යුතුය. එබැවින් ස්වාධීනව ක්‍රියාකරන සිවිල් සමාජ සාමුහිකයක් ගොඩනැංවීම මේ මොහොතේ සිදුකළ යුතු බව පෙනේ.

සමන් සෙනෙවිරත්න,
වැඩසටහන් අධ්‍යක්ෂ,
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions