Home » ජනතාව සූරගෙන කන විදුලිබල ඇමතිගේ මාෆියාව – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක

ජනතාව සූරගෙන කන විදුලිබල ඇමතිගේ මාෆියාව – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක

by Plus One

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පසුගිය දා මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත සම්මත වුවහොත් එමගින් විදුලිබල ඇමැතිවරයා ඒකාධිපතියකු බවට පත්වන බව හිටපු සභාපති ජනක රත්නායක මහතා එහිදී පවසා සිටියා.

ඔහු පෙන්වා දෙන්නේ එම පනත් කෙටුම්පත මගින් විදුලි ගාස්තු තීරණය කිරීම, පෞද්ගලික අංශයට විදුලි ජනනය සදහා බලපත්‍ර දීම, ඒවායින් විදුලිය මිලදී ගැනීමේදි ඒ මිල තීරණය කිරීම ආදියේ බලය ඇමැතිවරයා සතුවන බවය.

දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සහ ශ්‍රී ලංකා විදුලිබල පනත පාරිභෝගික ආරක්ෂාව සහ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රතිපාදන සහිත පනත් දෙකක් බව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේය.

“යෝජිත පනත් කෙටුම්පත සකස්කර ඇත්තේ විදුලිබල කර්මාන්තය, නියාමනය හා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද අබමල් රේණුවක දැනුමක් ඇති පිරිසක් නොවන බව පැහැදිලියි. විදුලිබල කර්මාන්තයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් තිදෙනෙක් සිටිනවා. ඒ විදුලි පාරිභෝගිකයා, විදුලිබල සැපයුම් කරුවා සහ නියාමන ආයතනය ඒ පාර්ශ්වකරුවන්. වර්තමාන විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත්වල විදුලි පාරිභෝගික ආරක්ෂාව සඳහා විශේෂ වගන්ති 27ක් තිබෙනවා. විදුලි පාරිභෝගික ආරක්ෂාවට තිබු මේ ප්‍රතිපාදන සියල්ල යෝජිත කෙටුම්පතින් ඉවත් කර විදුලි පාරිභෝගිකයා රිසි සේ සුරාකන ආකාරයට නව නීතිය හදලා තිබෙනවා” යැයි ඔහු එහිදී පැවසීය.

රුපියල් කෝටි 2000කට ආසන්න පාරිභෝගික ඇප තැන්පතු සදහා විදුලි පාරිභෝගිකයාට ලබා දී තිබු අයිතිය පවා නව කෙටුම්පත මගින් උදුරාගෙන ඇති බවත් නව පනතට අනුව විදුලි පාරිභෝගිකයාට පැමිණිල්ලක් කිරීමට ස්ථානයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

“විදුලිබල කර්මාන්තයේ තෙවැනි පාර්ශ්වකරුවා වන්නේ විදුලිය ජනනය කරන, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම කරන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම සහ අනෙකුත් ආශ්‍රිත ආයතන. මේ ආයතන සියල්ල නව පනත මගින් ඇමැතිවරයාගේ ග්‍රහණයට නතු කරගෙන තිබෙනවා. මේ පනත ක්‍රියාත්මක වුවහොත් විදුලි ජනන සැලැස්ම සකස් කරන්නේ ඇමැතිවරයා විසින්. විදුලි ගාස්තු තීරණය කරන්නේ ඇමැතිවරයා විසින්. පෞද්ගලික අංශයට විදුලි ජනනය සදහා බලපත්‍ර දෙන්නේ ඇමැතිවරයා විසින්. ඒවායින් විදුලිය මිලදී ගැනීමේදි ඒ මිල තීරණය කරන්නෙක් ඇමැතිවරයා විසින්. නව පනත හරහා විදුලිබල ඇමැතිවරයා ඒකාධිපතියෙක් බවට පත්කරන්නයි සුදානම.” යනුවෙන් ද ඔහු චෝදනා කළේය.

පසුගිය වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලැබු ලාභය විදුලි පාරිභෝගිකයන්ට ලාබදිය යුතු යැයිද ජනක රත්නායක මෙහිදී අවධාරණය කළේය.

“පසුගිය වසරේ අවසාන කාර්තුවේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 5000කට අධික ලාභයක් ලැබුවා. මෙම ලාභය ලැබුවේ විදුලි පාරිභෝගිකයන් මත අසාධාරණ බර පැටවීමකින්. විදුලිබල පනතේ 30 වැනි වගන්තියට පටහැනිව අනුමත කළ අනීතික ගාස්තු වැඩිකිරීමක් හරහා තමයි මේ අධික ලාභය ලැබුවේ. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලය වහාම අසාධාරණ ලෙස උපයාගත් කෝටි 5000 විදුලි පාරිභෝගිකයන් අතර බෙදා දිය යුතුයි. ඉදිරි ගාස්තු සංශෝධනයකදි සියයට 50කින් ගාස්තු අඩු‍කරන බවට කරන ප්‍රකාශ විදුලි පාරිභෝගිකයා නොමග යැවීමක්. ඉදිරි ගාස්තු සංශෝධනයක් කළ යුත්තේ ඉදිරියේ පැවතිය හැකි විදුලි ඉල්ලුම, සැපයුම හා වියදම් ඇස්තමේන්තු මත. විදුලිබල පනතේ 30 වැනි වගන්තියෙන් පැහැදිලිව දක්වා තිබෙනවා විදුලි ගාස්තු සංශෝධකනය කළ යුත්තේ විදුලිය සැපයීමට යන සාධාරණ වියදම සපයා ගැනීමට පමණයි කියලා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහා කළේය.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions