Home » චම්පිකගෙන් හයිබ්‍රිඩ් වැඩක්

චම්පිකගෙන් හයිබ්‍රිඩ් වැඩක්

by Plus One

රට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.

එහිදී අත්දැකීම් සහිත පිරිසිදු දේශපාලනඥයන් සහ නව දැක්මක් සහිත වෘත්තීයවේදීන්ගේ දායකත්වය වැදගත් වෙයි. මෙම දෙපාර්ශවය එක් කිරීම මගින් රට මුහුණ පා සිටින අර්බුදවලට විසඳුම් ලබා දිය හැකි වෙතැයි රණවක මහතා විශ්වාස කරයි.

වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 ම ප්‍රතික්ෂේප කිරීම ජනප්‍රිය මතයකි. එහෙත් රට අර්බුදයට ලක්වීමට 225 ම වගකිව යුතු නැත. ඊට වගකිවයුතු පාර්ශ්ව සිටියද, පිරිසිදු හා නිවැරදි දේශපාලනඥයන් 225 තුළ සිටින බව රණවක මහතා පෙන්වා දෙයි.

ඔවුන් සමග තරුණ වෘත්තීයවේදීන් සහ බුද්ධිමතුන් සම්බන්ධ කරමින් සැකසෙන ව්‍යුහයකින් රටේ අර්බුද විසඳිය හැකිය. වසර 75 ක් රට විනාශ කළ බවට දේශපාලකයන්ට නැගෙන චෝදනාවද ගැටලු සහගත බව හෙතෙම පෙන්වා දෙයි. මේවනවිට ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, සාක්ෂරතාව ආදිය වර්ධනය වී තිබේ. ඉන් සනාථ වන්නේ වසර 75 ක් තුළ අවගමනයක් පමණක්ම සිදුව නොමැති බවයි. රට තුළ අවස්ථා ගණනක දී කැරළි කෝලාහල ඇති විය. ඒ නිසා සිදුව ඇති ආර්ථික හානිය ද විශාලය.

රණවක මහතා පෙන්වා දෙන්නේ, වත්මන් අර්බුදයට එවැනි කැරළි කෝලාහලවලට දායක වූ කණ්ඩායම් ද වගකිව යුතු බවයි. කෙසේවුවද වත්මන් අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ පොදු අවම යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. එය මත පදනම්ව මනුෂ්‍යත්වයේ දේශපාලන සන්ධානය ස්ථාපනය කෙරේ. එය නායකත්ව මණ්ඩලයකින් මෙහෙයවීම අපේක්ෂාවයි. පිරිසිදු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ සංවිධානවලට ඊට එක්විය හැකිය.

නායකත්ව මණ්ඩලය විසින් ගනු ලබන තීරණ සන්ධාන පාර්ශවකරුවෝ ක්‍රියාවට නංවති. මැතිවරණ අපේක්ෂකත්ව සහ අවස්ථා ද නායකත්ව මණ්ඩලය මගින් තීරණය කෙරෙන අතර එක්සත් ජනරජ පෙරමුණ ඊට පූර්ණ සහාය සලසයි. නායකත්ව මණ්ඩලය විසින් ජනාධිපතිවරණය සඳහා තමා නම් කළහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද රණවක මහතා පෙන්වා දෙයි. වෙනත් අපේක්ෂකයෙකු නම් කළහොත් ඔහුට පූර්ණ සහාය පළ කරන බව ද රණවක මහතා පවසයි.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions