Home » අරගල කමිටු වාර්තාව එළියට වැරදිකරු, ” ශවේන්ද්‍ර “- සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවට යෝජනා

අරගල කමිටු වාර්තාව එළියට වැරදිකරු, ” ශවේන්ද්‍ර “- සමාජ මාධ්‍ය නියාමනය කළ යුතු බවට යෝජනා

by Nirodha Gamage

මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස අසල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය නොකිරීම, මැයි 9 වැනිදා රට පුරා සිදුවූ නිවාස හා දේපළ ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර නොගැනීම සහ අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරය අවට ආරක්ෂක තත්ත්වය පාලනය නොකිරීම මගින් එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉතා බරපතළ ලෙස ඔහු වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් පැහැර හැර ඇතැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව නිකුත් කළ වාර්තාව පෙන්වා දී තිබේ. මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කර තිබුනේ අරගලය සමග ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී සන්නද්ධ හමුදාව සහ රාජ්‍ය ඔත්තු සේවාව විසින් සිදු කරනු ලැබූ අඩුපාඩු තිබේ දැයි සොයා බැලීමටයි. සභාපති ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝර්ස් රොෂාන් ගුණතිලක සහ විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ ලෙස ක්‍රියා කළහ.

රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් විරෝධතා රැසක් සිදුවී තිබෙන බව සඳහන් කරන කමිටුව

2022 මාර්තු මාසයේ 5 වැනිදා මිරිහාන පැඟිරිවත්ත පාරේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙහෙය වූ විරෝධතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයෙන් ලබාගත් තොරතුරු පුදුම සහගත බවත් එවැනි තත්ත්වයක් හටගැනීම වැළැක්වීමට කඩිනම් සැලසුම් සකස් කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුදින සාකච්ඡා කිහිපයක් පවත්වා තිබුණද 2022 මාර්ති මස 31 වැනිදා , මිරිහානට හමුදා ඛණ්ඩ ස්ථානගත කිරීමේදී සිදු වූ ප්‍රමාදය හේතුවෙන් සැලසුම් නියමිත පරිදි ක්‍රියාත්මක වී නොමැති බව කමිටුවේ නිරීක්ෂණය වී තිබේ.

කමිටු වාර්තාවේ තවදුරටත් මෙසේ සඳහන් වේ.

අවශ්‍යතාවක් ඇතිවුවහොත් කඩිනමින් හමුදා ඛණ්ඩ පිටත් කර හැරීම සඳහා වීඅයිපී වාසස්ථානවල ඔත්තු බැලීමට සහ එය ආසන්නතම යුද හමුදා කඳවුරට වාර්තා කරන ලෙස 2022 අප්‍රේල් මස 5 වැනිදා යුද හමුදා මූලස්ථානයෙන් සියලු අණදෙන නිලධාරීන්ට උපදෙස් සපයා ඇත.

එසේ වුවද තමා පෞද්ගලිකව නියෝග කරනතුරු හමුදා ඛණ්ඩ නොයොදවන ලෙස යුද හමුදාපතිවරයා ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන්ට දැනුම් දී ඇත.

මැයි නව වෙනිදා නියෝග නිකුත් කිරීම පස්වරු 6.30-6.45 අතර කාලසීමාවේදී සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයන්ගේ දේපළවලට හානි සිදුවීමෙන් වළක්වා ගැනීමට පොලිසියට තිබූ කාලසීමාව අහිමිව ගොස් තිබූණු බව වාර්තාවේ සඳහන් කර තිබේ.

එසේම අනුරාධපුරයේ ඥානා මෑණියන්ගේ නිවෙස ආරක්ෂා කිරීමට යුද හමුදා භටයන් 250ක් යෙදවූවද, එම නිවෙසට හානි සිදුවීම වළක්වා ගැනීමට නිසි පියවර ගැනීමට ඔවුන් අසමත්ව තිබේ.

එකඟවූ පරිදි පොලිසිය මාර්ග බාධකයට නොපැමිණි බව කියමින් යුද හමුදා ඛණ්ඩ ඇමැති චන්න ජයසුමනගේ අනුරාධපුරයේ පිහිටි කාර්යාලයට ගිනි තැබීමට මැර කණ්ඩායම් පැමිණීමට මිනිත්තු 45කට පෙර එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

බොහෝ ස්ථානවලදී යුද හමුදාව අවශ්‍ය අවම බලය භාවිත නොකළ බව නිරීක්ෂණයට ලක්ව තිබේ.

අනුරාධපුරය, පොලොන්නරුව සහ කොළඹ වැනි පළාත්වල මැර ක්‍රියාකාරකම් උත්සන්න වීම හේතුවෙන් ‘එලයිට් එයාර් මොබයිල් බ්‍රිගේඩයන්‘ බලඇණි 5ක්’. විශේෂ කාර්ය බළකාය සහ අණදෙන නිලධාරීන් ඇතුළුව 4,500කට අධික විශාල හමුදා ඛණ්ඩයක් ආරක්ෂාව තර කිරීමට කොළඹට ගෙන්වා තිබේ.

එසේම සන්නද්ධ හමුදාවේ අණදෙන ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ මෙන්ම මැර ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීම සඳහා ක්‍රියා කරන ලෙසට ආරක්ෂක ලේකම්වරයා දුන් සෘජු නියෝග වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති නොසළකා හැර ඇත.

2009 වසරේ මානුෂීය මෙහෙයුම නිමාවට පත්වීමෙන් පසුව සියලු සන්නද්ධ හමුදාවලට ජනතා විමුක්ති පෙරමුණේ කැපී පෙනෙන මැදිහත් වීමක් සිදුව ඇති බව නිරීක්ෂණයට ලක් වී තිබේ. අයැදුම්කරුවන් තෝරා ගැනීමට ආරක්ෂක නිෂ්කාශනයන් සිදු කිරීමට පෙර සේවයට බඳවා ගැනීම් සිදු කර තිබේ.

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීමෙන් හා මිරිහාන මැර ක්‍රියාකාරකම්වලින් පසු නීතිඥවරු 100කට වැඩි පිරිසක් කැරලිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට අවම බලය භාවිත කිරීමට යම් ප්‍රමාණයක අකමැත්තක් සහිතව මිලිටරි හා පොලිසිය අධෛර්යමත් කර තිබේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සිදුවීම් සම්බන්ධව මාධ්‍ය වගකිව යුතු ආකාරයෙන් කටයුතු කළ යුතු බවට පරීක්ෂණ මණ්ඩලය නිරීක්ෂණ කර තිබේ.

කමිටු වාර්තාව සිය නිගමන ලෙස,

සන්නද්ධ හමුදා අණදෙන ප්‍රධානියා දුන් නියෝග සහ උපදෙස් ද, පසුව ආරක්ෂක ලේකම්වරයා දුන් නියෝගයන් ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන්ට නිසි වේලාවට දැනුම් දී නැත. එය රාජකාරිය හිතාමතාම පැහැර හැරීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවට මහජන දේපළවලට සහ පුද්ගලයන්ට හානි සිදුවීම වළක්වා ගත නොහැකි වී තිබේ.

ආරක්ෂක ලේකම්වරයා බුද්ධි වාර්තාව අනුව පියවර ගත්තේ නම් මැයි 9 වැනිදා ගාලුපාරේ සහ ගාලුමුවදොර සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීමට නොහැකි වුවද, එය අවම කිරීමට හැකියාව තිබිණි.

පොලිස්පතිවරයා එම වාර්තාවට අනුව පියවර ගනු ලැබුවද, තත්ත්වය මැඬපැවැත්වීමට අනුයුක්ත කළ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය.

සිවිල් බලයට සාපේක්ෂව ත්‍රිවිධ හමුදාව මගින් පෙන්නුම් කර ඇත්තේ පුහුණුවේ අඩුකමකි. වැඩිදුරටත් කියන්නේ නම් ප්‍රචණ්ඩකාරීන් සමඟ ගනුදෙනු කිරීමට කැරලි පාලනය කිරීමේ ඒකක වැඩි ප්‍රමාණයක් නිසි අයුරින් සන්නද්ධව නොසිටි බවය.

කැරලිකරුවන් සම්බන්ධීකරණ කටයුතු සඳහා සමාජමාධ්‍ය ජාලා සහ විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් රටේ විවිධ පළාත්වල දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ දක්වා සිය ප්‍රචණ්ඩකාරීත්වය වර්ධනය කිරීමට කටයුතු කර තිබේ.

නඩු පැවරීමට හසුවනු ඇතැයි බියෙන් සන්නද්ධ හමුදාව සහ පොලිසිය ප්‍රචණ්ඩක්‍රියා මැඬපැවැත්වීමට අවම බලය භාවිත කිරීමට අධෛර්යමත් වීමක් පෙන්නුම් කර තිබේ.

දූෂණය හා මහජන මුදල් අවභාවිතය පිළිබඳ ජනතා විශ්වාසය මැර කණ්ඩායම්වලට ප්‍රචණ්ඩකාරී විරෝධතා සඳහා හේතු විය.

කමිටුවේ නිර්දේශ

අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරය වැනි ස්ථානවල ත්‍රිවිධ හමුදාවේම සාමාජිකයන් අනුයුක්ත කර ඇති බැවින් ඒකාබද්ධ පුහුණු ක්‍රියාකාරකම් පැවැත්විය යුතුය.

හැකි සෑම විටකම පොලිසිය හා ත්‍රිවිධ හමුදාව අතර ප්‍රමාණවත් ආකාරයේ මෙහෙයුම් ජාලයක් වර්ධනය විය යුතුය.

කැරලි හා ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට සන්නද්ධ වීම සඳහා සියලු ආකාරයේ උපකරණ සැපයිය යුතුය.

ජාතික ආරක්ෂක කවුන්සිලයට සහයෝගය ලබාදෙන වෙනම ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලයක් ස්ථාපිත කළ යුතුය.

ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා වේදිකාවක් බවට පත්වී ඇති සමාජ මාධ්‍ය ජාලා රටෙහි ජාතික ආරක්ෂාවට අවශ්‍ය පරිදි නියාමනය කළ යුතුය.

බ්‍රිතාන්‍යයේ සහ සිංගප්පූරුවේ සිදු කරන ආකාරයෙන් සිය රාජකාරිය තුළ හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් සිදු කරන නීත්‍යනුකූල කාර්යභාරය සඳහා ප්‍රත්‍යවේක්ෂණ පියවර ගත යුතුය. යනුවෙන් වාර්තාවේ සඳහන් කර තිබේ.

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions