Home » අපනයන කරුවන් හාන්සි කරන රනිල්ගේ අළුත්ම 30% බද්ද…..

අපනයන කරුවන් හාන්සි කරන රනිල්ගේ අළුත්ම 30% බද්ද…..

by Nipuna Fernando

සියලු අපනයන සඳහා 30%ක බද්දක් !!! ඔබට හැඟෙන්නේ කුමක්ද ?

ලංකාවේ මිනිසුන් යාංතං සිය පන කෙන්ද රැකගත්තේ රටට ඩොලර් මිලියන 1000-1200 අතර ආදායමක් මාසිකව උපයා දුන් අතලොස්සක් වූ අපනයන කරුවන්ට පිං සිදු වෙන්නටයි. එහෙත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිසිදු පැහැදිලි විශ්ලේෂණයකින් තොරව අපනයනයන් සඳහා 30% ක බද්දක් ගැසීමට යාමෙන් එම ආදායමත් සැලකිය යුතු මට්ටමකින් රටට අහිමි වීම නොවැළැක්විය හැකියි.

පණ අදිමින් යන ආර්ථිකය බෙල්ල හිරකොට මරා දැමීමට උස්සාහ කිරීමෙන් පෙනී යන්නේ ලංකාවේ පාලකයන් කෙතරම් අදූරදර්ශී ද යන වගයි . මෙවැනි තීරණයක් ගැනීමේදී විශේෂයෙන්ම අපනයන කරුවන් සහ ඔවුන්ගේ සංවිධාන වලින් විමසා බලා, නිවැරැදි විශ්ලේෂණයකින් පසු සමස්ත අපනයන නිෂ්පාදන ව්‍යාපාර කෙරෙහී බලපාන මෙවැනි විශාල බදු සම්බන්ධ ප්‍රතිපත්ති වෙනස් කල යුතුයි. එහෙත් , එවැනි කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදුවී නැහැ . මෙම බදු සම්බන්ධ කතාව මුලින්ම කරලියට එන්නේ පසුගිය සතියේ පාර්ලිමේන්තු මුදල් කමිටුවේදි BOI නිළධාරීන් කැඳවූ අවස්ථාවේදීයි . ඉන්දියාවේ HCL නැමැති BPO සමාගමට අවුරුදු 17 ක බදු විරාමයක් ලබා දීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට කල ඉල්ලීම සලකා බැලීමේදී . එම අනුමැතිය නිසා රජයට ඩොලර් මිලියන 70 ක බදු ආදායමක් අහිමි වන බව මෙහිදී හෙළිදරව් වුනා . BOI නිළධාරීන් ඒ වන විටත් රජය මෙවැනි බද්දක් පැනවීමට යන බවක් නොදන්නා බව එහි පැමිණි ඉහළම නිළධාරියෙක් පැවසූ අතර එහී වාඩිලාගෙන සිටි මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් BOI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා කසාය බිවි ගොළුවකු සේ නිශ්ශබ්ධ වී සිටීමෙන් පෙනීගියේ ඔහුත් එම බදු යෝජනාව දැනගත්තේ ඒ මොහොතේ බවයි .

IMF එකඟ වූ තවත් රහස් කොන්දේසියක් වන මෙය නොවැම්බර් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට යි රජය සූදානම් වන්නේ . සෑම කාණ්ඩයකම භාණ්ඩ හා සේවා අපනයන සඳහා 30% ක බද්දක් (Flat Rate) අය කරගැනීමට දේශීය ආදායම් පනත සංශෝධනය කරන බව මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව (Department of Public Finance ) ප්‍රකාශ කරයි.

මෙම බද්ද අතීතයට බලපාන පරිදි පැන වීමට බලාපොරොත්තු වන බවක් දැනගන්නටද තිබෙනවා. https://www.themorning.lk>export-companies-taxed-up මේ අනුව මෙතෙක් අපනයන සඳහා පනවා තිබූ 14% ක්ව පැවති බද්ද 30% දක්වා වැඩි වනු ඇති . ඊට අමතරව , පරිඝණක සේවා අපනයන (Software & other IT Services ) සඳහා මෙතෙක් 0% ක මට්ටමේ පැවති බද්ද 30% දක්වා (Flat Rate) වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ බද්ද ආරම්භ වීමත් සමග විශේෂයෙන්ම ඇඟලුම් අපනයනය කඩා වැටීමට ඉඩ ඇති බව ඇඟැලුම් අපනයන කරුවන්ගේ සංගමය (JAAF) අනතුරු හඟවා තිබෙනවා . එමෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්ත කරුවන්ගේ සංගමය (SLAMERP) ප්‍රකාශ කරන්නේ රජය හඳුන්වා දීමට සූදානම් 30% බද්ද කලාපයේ ශ්‍රී ලංකාව සමග තරඟ කරණු ලබන අනෙකුත් රටවල බදු ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් තිබීම හේතුවෙන් ලංකාවේ අපනයන කර්මාන්ත කඩා වැටීම නොවැළැක්විය හැකි බවයි. එසේ වුවහොත් , කොරේ පිටට මරේ වෙමින් ලක්ෂ ගණනකට රැකියා අහිමි වනු ඇති. ඒ අතර IT සමාගම් බොහෝමයක් මැලේසියාවේ ස්ථාන ගත කිරීමට (Relocate ) කිරීමට තීරණය කොට තිබෙන බව ආරංචියි.

ආසියානු කලාපයේ වෙනත් රටවල් තම අපනයන කරුවන්ට උපරිම බදු සහන සහ අනෙකුත් අනුග්‍රහ ලබා දෙනවා. එහෙත් , ඉතා අවදානම් ආර්ථිකයක් තිබෙන ලංකාවේ රජය අපනයන කරුවන්ට තම නිෂ්පාදන ව්‍යාපාර කිරීම එපා කරවනවා? මෙවැනි ඩොලර් හිඟ අවධියක විදේශ විනිමය උපයන සමාගම් සඳහා රජය සියලු අනුග්‍රහයන් ලබා දිය යුතුයි . එහෙත් ලංකාවේ සිදුවන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් නොවේද ?

මේ වන විට ලංකාවේ ආයෝජනය කොට ඇති විදේශීය ආයෝජකයින් තම ව්‍යාපාර වියට්නාමයට , බංග්ලාදේශයට, හෝ ඉතියෝපියාවට ගෙන යෑමට සූදානම් වෙනවා . සමහරුන් මේ වන විටත් එවැනි රටවලට ඔවුන්ගේ කර්මාන්ත රැගෙන ගොස් ඇති අතර එම රටවල් ඔවුන්ට විශාල වශයෙන් බදු සහන, නව වෙළෙඳපොළ වැනි දෑ සොයාදෙමින් විශාල අනුග්‍රහයන් ලබා දෙනවා. එහෙත් ලංකාවේ ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ඉන්න හිතෙන රටක් වෙනුවට යන්න හිතෙන රටක් නිර්මාණය කර දෙමින් සිටින බවක් නම් හොඳින්ම පේන්න තිබෙනවා .

රජයේ ආදායම වැඩි කරගැනීමේ අරමුණින් යැයි පවසමින් මෙසේ නිෂ්පාදනයන් සහ අපනයනයන් මත අසීමිත බදු පැන වීම නරක ප්‍රතිවිපාක ( Counter Productive ) ඇති කිරීමට හේතු වනු ඇත. පසුගිය දින වල සුරාබදු වැඩි කලේ රටේ ආදායම වැඩි කරගැනීමේ අරමුණින්. එහෙත්, අවසානයේ බොහෝ ජනයා ආර්ථික අපහසුතා හේතුවෙන් මත් පැන් බීම අත් හැරීම තුල අපේක්ෂිත බදු ආදායම් ලබා ගැනීමට රජයට නොහැකි වුණා. එමෙන්ම, බොහෝ අපනයන කරුවන් බදු අවදානම මගහැරීම ට Transfer Pricing වලට යෑමට ඉඩ ඇති බවත් කිව යුතුයි . ඒ තුලින් රටට ලැබිය යුතු ලාභය මහා පරිමාණයෙන් එතෙර රැඳෙන එක නැවැත්විය නොහැකියි .

බොහෝ රටවල බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ වර්ෂයකට එක් වරක් පමණයි. මන්ද , නිෂ්පාදන කර්මාන්ත , වෙළෙඳපොළ සහ ආදායම් බදු ගෙවන ජනයා එම රටවල් ඉතා වැදගත් පිරිසක් ලෙස සලකා ඔවුන් ඉහළින් රැක බලා ගන්නවා . ඔවුන් තමයි රටේ ආර්ථිකය පෝෂණය කරන්නේ . එහෙත් , ලංකාවේ බදු ප්‍රතිපත්තිය වර්ෂයකට කිහිප විටක් වෙනස් කරනවා. ඊට අමතරව , තම හිතවතුන්ට සහන දීමට , බදු ප්‍රතිපත්ති වෙනස් කිරීමේ ආදිනව අපි 2020 සිට මෑතක් වනතුරු භුක්ති විඳිමින් සිටිනවා. සීනි, පොල්තෙල් , ටයිල් , කැසිනෝ බදු වෙනස් කිරීම් ඉන් කිහිපයක්. එමෙන්ම , 2017 රනිල් වික්‍රමසිංහ රජය වෙනස් කල විනිමය පනතත් එවැන්නක්.

රජය රත්තරං බිජු දමන කිකිළිය මරා රෝස්ට් (Roast ) කර කෑමට යාමෙන් සමස්ත රටම අනාථ වී , රටේ ජාතික ආදායමේ වැඩි පංගුවක් අහිමි කරගෙන , IMF කොන්දේසි වලට මුවා වී මේ කිරීමට යන්නේ මිල්ටන් ෆ්‍රීඩ්මාන්ගේ (Milton Friedman) උපදෙස් ක්‍රියාත්මක කිරීමට විය හැකි බව නයෝමි ක්ලේන්ගේ (Naomi Klein) ආපදා ධනවාදය (Disaster Capitalism ) විස්තර කරන Shock Doctrine (කම්පන වාදය ) පොත කියවූ මට හැඟී යයි.

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රෙඩින් විශ්වවිද්‍යාලය එංගලන්තය
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions