Home » මෛත්‍රී දුෂ්ඨයාට ඇන්ඳවීම. ශ්‍රිලනිපයේ නව සභාපති නිමල් සිරිපාලද?

මෛත්‍රී දුෂ්ඨයාට ඇන්ඳවීම. ශ්‍රිලනිපයේ නව සභාපති නිමල් සිරිපාලද?

by Plus One

ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය මේ වෙනකොට අත්හිටුවලා.ඒ අනුව දයාසිරිට තවදුරටත් ශ්‍රිලනිප මහ ලේකම් නෙවෙයි.වැඩබලන මහ ලේකම් විදිහට නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක පත්කරලා.ශ්‍රිලනිප ව්‍යවස්ථාවෙන් පක්ෂ සභාපතිවරයාට පැවරී තියන බලතල අනුව ගත්ත තීරණයක් මේක.ඒ වගේම දයාසිරිට විනය පරීක්ෂණයකුත් කැඳවන බව ලිපියේ සදහන් කරලා තිබුණා.
රටේ රාළ ශ්‍රිලනිප සමුළුවට ඉස්සෙල්ලා කියපු අනාවැකිය දැන් ඇත්ත වෙලා.රටේ රාළ කිව්වේ ශ්‍රිලනිප 72 වෙනි සංවත්සරයෙන් පස්සේ ශ්‍රිලනිපය ඇතුලේ බල අරගලය තීරණාත්මක කඩයිමකට එනවා කියලයි.ගැටුමේ පාර්ශව දෙක වන දයාසිරි සහ දුමින්ද පාර්ශව දෙකෙන් එකකට යටත්වීමට හෝ ඉවත්වීම තෝරගත්ත වෙනවා කියලා රටේ රාළ කිව්වා.දැන් ඒ අභාවාචක අද්දැකීමට මුහුණ දීලා ඉන්නේ දයාසිරි පාර්ශවය.දයාසිරිට ඉස්සෙල්ලා තිලංගට ශ්‍රිලනිප මූලස්ථානයේ තිබුණ එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලය අහිමි වුනා.
දැන් දයාසිරිට තියෙන්නේ එක විකල්පයක් විතරයි.ඒ නීතියේ පිහිට පැතීමේ විකල්පය විතරයි.කොහොම උනත් ආයෙත් දයාසිරිට ශ්‍රිලනිප ඇතුලේ වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙයි කියලා හිතන්න අමාරුයි.ඒත් නීතියේ පිළිසරණ මත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්.කොහොමත් දයාසිරිට විකල්ප දේශපාලන ක්‍රියාමාර්ග නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ.මීට කලින් නිමල් සිරිපාල,මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම ශ්‍රිලනිප පක්ෂ තීරණයට එරෙහිව රනිල්ගේ ආණ්ඩුවට එකතුවීම මත එදා මෛත්‍රී,දයාසිරි ඇතුළු ශ්‍රිලනිපය මීට සමාන ක්‍රියාමාර්ගයක් ගත්තා.
නිමල් සිරිපාල,මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමට විතරක් නෙවෙයි ශ්‍රිලනිප ජේෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාටත් මේ පන්නයේම ක්‍රියාමාර්ගයක් ගත්තා.ඒ සියලු දෙනාගේම පක්ෂ සාමාජිකත්වය අත්හිටවලා එයාලටත් විනය පරීක්ෂණ කැදෙව්වා.එදා දයාසිරි එක්ක එකතු වෙලා චන්ද්‍රිකා,නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වයන් අත්හිටුවලා විනය පරීක්ෂණ කැදවපු මෛත්‍රිට අද නිමල් සිරිපාලලා එක්ක එකතු වෙලා දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවලා විනය පරීක්ෂණ කරන්න සිද්ධ වෙලා.
සාමාන්‍යයෙන් මෛත්‍රි ඔය වගේ තීරණ ගන්න පෙළඹෙනවා.ඒ තීරණය හරි උනත් වැරදි උනත් මෛත්‍රි ඒ පන්නයේ තීරණවලට යන්න ආසන්න හේතුවකුත් තියෙන්න ඕනි.එක වෙලාවක රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරන්න රනිල් එක්ක එකතු වෙලා මෛත්‍රි යහපාලන ආණ්ඩුව පිහිටෙව්වා.මෛත්‍රී ජනාධිපති සහ රනිල් අගමැති වෙලා වැඩි දවසක් යන්න වුනේ නෑ.මෛත්‍රි – රනිල් ගැටුම පටන් ගත්තා.ගැටුම උග්‍ර උන එක අවස්ථාවක මෛත්‍රි රනිල්ගේ අගමැතිකම ගලවලා මහින්දට දුන්නා.
දින 52 ආණ්ඩුව හැදුවා.දූෂිත මහින්ද අගමැති කළා.ඒකෙන් මෛත්‍රිටවත්,මේ රටටවත් යහපතක් වුනේ නෑ.අන්තිමට දින 52 ආණ්ඩුව නීති විරෝධීයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.ඒ වගේම නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට විරුද්ධ නිමල් සිරිපාල අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණයේ තීන්දුව උනේ එයාලගේ සාමාජිකත්වය අත්හිටුවීම නීති විරෝධී කියලයි.මේ කිසි දෙයකින් මෛත්‍රිටවත් රටටවත් යපහතක් වුනේ නෑ.
වෙච්චි එකමදේ මෛත්‍රි සම්බන්ධව තිබුණ විශ්වාස බිඳ වැටීම විතරයි.ඒක දේශපාලන වශයෙන් මෛත්‍රිට බරපතල අවාසියක්. ගොඩක් අය කියන්නේ මෛත්‍රි තමන්ගේ බේරීම වෙනුවෙන් තමන් ළඟ ඉන්න ඕනිම කෙනෙක්ව බිලි දෙනවා කියලයි.රටේ රාළ ශ්‍රිලනිපය ඇතුලේ තියන පාර්ශව දෙකෙන් එකක්වත් නියෝජනය කරන්නේ නෑ.ඒ විතරක් නෙවෙයි මෛත්‍රිව නියෝජනය කරන්නෙත් නෑ.හැබැයි ශ්‍රිලනිපය තවදුරටත් ආරක්ෂා විය යුතුයි කියන ස්ථාවරයේ දිගටම රටේ රාළ ඉන්නවා.
රටේ රාළ දිගටම කිව්වේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට හරි විකල්පයක් නැතිව ඒවා අභාවයට ගියොත් ඒකෙන් මේ රටට යහපතක් වෙන්නේ නෑ.නිකං හිතන්නකෝ එජාපය වෙනුවට සජබය හැදුනා,ශ්‍රිලනිපය දෙකඩ වෙලා පොහොට්ටුව හැදුනා.පොහොට්ටුව මේ රට බංකොලොත් කළා.බංකොලොත් භාවයෙන් මුදවා ගන්න කියලා සජබයට කියනකොට සජිත් පැනලා ගියා.මෙච්චර කල් ශ්‍රිලනිපය ඇතුලේ උන දේවල් හරියටම කියව ගත්ත කෙනෙක් විදිහට මෙතැනින් එහාට මොකද වෙන්නේ කියන එකත් කියන්න වෙනවා.
රටේ රාළ වගකීමෙන් කියනවා ශ්‍රිලනිපය ඇතුලේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රිලනිප න්‍යාය පත්‍රය නෙවෙයි.දැනුත් ක්‍රියාත්මක වෙන්නේ වෙන පක්ෂයක න්‍යාය පත්‍රයක්. දයාසිරි ශ්‍රිලනිප මහ ලේකම් විදිහට සහ තිලංග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විදිහට ඉන්නකොටත් ශ්‍රිලනිපය ඇතුලේ වෙන පක්ෂවල න්‍යාය පත්‍ර කීපයක් ක්‍රියාත්මක වුනා.මුලදී විමල්ලගේ උත්තර ලංකා සභාගයේ න්‍යාය පත්‍රය.ඊළගට ඩලස්ගේ නිදහස ජනතා සභාවේ න්‍යාය පත්‍රය.
ඩලස්ලගේ න්‍යාය පත්‍රය කෙලින්ම සජබ න්‍යාය පත්‍රයට Link වෙලා තිබුණේ.ශ්‍රීලනිපය ක්‍රමයෙන් සජබ න්‍යාය පත්‍රයට සමීප කරවීමේ උපක්‍රමයක් එතන තිබුණා.ඒකේ සමාරම්භක අවස්ථාව විදිහට තමයි හෙලිකොප්ටර් සන්ධානය හැදෙන්නේ.එතනදී ඩලස්ලා හැදුවේ ශ්‍රිලනිපය යටත් කරගෙන සජබයත් එක්ක කේවල් කරන්න.එදත් මෛත්‍රිට ඒ උපක්‍රම තේරුණේ නෑ.හෙලිකොප්ටර් සන්ධානයේ නාමයෝජනා කමිටු ඇතුලේ ශ්‍රිලනිපය බරපතල අසීරුවකට පත්වෙනකොට තමයි ශ්‍රිලනිප පහල බලවේගය හෙලිකොප්ටර් සන්ධානයට එරෙහිව නැගිට්ටේ.
ඒකෙන් දයාසිරි සහ තිලංග යොදාගෙන ඩලස් කරන්න උත්සාහ කරපු Hidden Agenda එක අවුල් වුනා.ඒකත් එක්ක තමයි දයාසිරි සහ තිලංගට ශ්‍රිලනිපය ඇතුලේ විරෝධයක් එල්ල වෙන්න පටන් ගන්නේ.දයාසිරිත් කළේ ඒ විරෝධය සමනය කරගන්න උත්සහ නොකර ඒකත් එක්ක හැපි හැපී යන එකයි.ඒ එක්කම නිමල් සිරිපාලලා පවරපු නඩු තීන්දුවේ තීන්දුවත් ආවා.ඒ තීන්දුව අනුව එයාලා නැවත පක්ෂයට අරන් හිටපු තනතුරුවලම පිහිටෙව්වා.දයාසිරිලා ශ්‍රිලනිපය ඇතුල ඇති කරගත්ත ගැටුම් විසින් නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමට ශ්‍රිලනිපය ඇතුලේ ඉඩක් නිර්මාණය වෙමින් තිබුණා.
ඒ ඉඩත් එක්ක ඇතුලට ආපු අය තමන්ගේම හතුරා විදිහට දයාසිරි සහ තිලංඟව සළකමින් කටයුතු කළා.ඇත්තටම හරි නං එයාලාගේ හතුරෙක් බවට මෛත්‍රිත් පත්වෙන්න ඕනි.ඒ වෙන්කොට දයාසිරි සහ මෛත්‍රි අතරත් ගොඩනැගෙමින් තිබුණ ප්‍රතිවිරෝධය පාවිච්චි කරගෙන නිමල් සිරිපාලලා මෛත්‍රි තමන්ගේ උවමනාව වෙනුවෙන් පාවිච්චි කරගෙන තියනවා.තවමත් මෛත්‍රි නොදන්න එක දෙයක් මෙතන තියනවා.ඊළඟ බිල්ල මෛත්‍රි කියලා මෛත්‍රි තවම දන්නේ නෑ.
ඇත්තටම නිමල්ලා,අමරවීරලා දයාසිරිට වඩා බොහොම උපක්‍රමශීලීයි.මෛත්‍රි ලවාම දයාසිරිගේ බෙල්ල කපන්න එයාලා දක්ෂ වෙලා.රටේ රාළ කියන්නේ මේ යන්නෙත් ශ්‍රිලනිප න්‍යාය පත්‍රය නෙවෙයි.මේ වැඩ කරන්නේ රනිල්ගේ න්‍යාය පත්‍රය.ශ්‍රිලනිපයට රනිල් එක්ක සන්ධානයකට යන්න ඕනි නං යන එකට බාධාවක් නෑ.ඒකට ශ්‍රිලනිපය විදිහට තීන්දුවක් අරන් යන්නයි තියෙන්නේ. රටේ රාළ කියන්නේ ඒ තීරණය අරගෙන ඉස්සරහා දොරෙන් ගිහින් ඉඳගන්න.
ඒකට මෛත්‍රී මුල් වෙන්න ඕනි.එහෙම නැතිව මෛත්‍රී මේ චිත්‍රපටියේ පිටපත කියවන්නේ නැතිව නිමල් සිරිපාලගෙන් අහගෙන නං ප්‍රධාන නළුවට රඟපාන්නේ මෛත්‍රි අමාරුවේ වැටෙනවා.මෛත්‍රි හිතාගෙන ඉන්නේ එයා කරන්නේ කොල්ලගේ චරිතය කියලයි.මෛත්‍රිට සහ මෛත්‍රි ළඟ ඉන්න අයට එහෙම පේනවත් ඇති.හැබැයි ඇත්තටම මෛත්‍රි මේ රඟපාන්නේ දුෂ්ඨයා චරිතය.
මෛත්‍රිට සාපේක්ෂව බැලුවත්,ශ්‍රිලනිපයට සාපේක්ෂව බැලුවත් මෛත්‍රි දැන හෝ නොදැන රඟපාන්නේ දුෂ්ඨයාගේ චරිතය.මෛත්‍රි මේ රඟපාන්නේ නිමල් සිරිපාලලට ශ්‍රිලනිපය එයාලට අවශ්‍ය තැනට එයාලගේ අවශයතා වෙනුවෙන් දක්කාගෙන යන්න ඕනි තැනට අදාල චරිතයටයි.රටේ රාළ හිතන්නේ මෛත්‍රි ඒ අවධානම නොදැන තමයි මේ රංගනයේ යෙදෙන්නේ.මේ පාර දයාසිරි බිල්ලට ගියා.රටේ රාළ කියන්නේ ඊළඟට බිල්ලට යන්නේ මෛත්‍රි කියලයි.ඊළඟ ශ්‍රිලනිප නායකයා බොහෝදුරට නිමල් සිරිපාල ද සිල්වා වෙන්න පුළුවන්.

උපුටාගැනීම රටේ රාළ ෆේස්බුක් ගිණුමෙන්

Share

You may also like

Leave a Comment

About Us

පහත දක්වා ඇති ඕනෑම ආකාරයකින් අප හා ඔබට සම්බන්ද විය හැකි අතර අපගේ දුරකතන සේවාව පැය 24 පුරාම සක්‍රීයවී ඇත. තවද ඔබට ඔබගේ පුවතක් පළකරවා ගැනීමට හෝ දැන්වීමක් පළ කරවා හැනීමට අප හා සම්බන්ද වන්න.

Feature Posts

@2021 – Designed and Developed by Wisdom Solutions