පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේදී ම ලෝක වාර්තා රැසක් තමන් සතු කර ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (දෙසැ. 1) සමත් විය.
ඒ අනුව, රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 506ක් රැස්කරමින් ටෙස්ට් ඉතිහාසයේ තරගයක පළමු දිනයේදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට එංගලන්තය සමත් විය.
එසේ ම, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනය පන්දුවාර 75කට සීමා වූ පසුබිමක මෙම දස්කම දක්වා තිබීම වීම ද කැපී පෙනිණි.
එපමණක් නොව එහිදී එංගලන්ත පිතිකරුවන් සිවු දෙනෙකු ශතක වාර්තා කර තිබිණි.
තරගයක පළමු දිනයේදී ශතක 4ක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසින් ද මෙය වාර්තා අතරට එක්විණි. එහිදී සැක් ක්‍රව්ලි ලකුණු 122ක්, බෙන් ඩකට් ලකුණු 107ක්, ඔලී පෝප් ලකුණු 108ක් සහ හැරී බෲක් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේ ය.
තවද මෙහිදී හැරී බෲක්ස් සවුද් සකීල් යොමු කළ පන්දුවාරයකට පිට පිට ම හතරේ පහර 6ක් එල්ල කිරීමට සමත් වීම ද විශේෂත්වයකි.
එමෙන් ම, මෙම තරගයේ පළමු දිනයේ දිවා ආහාරයට පෙර කාල සීමාව තුළ එංගලන්තය ලකුණු 174ක් වාර්තා කර තිබූ අතර එය වාර්තා අතරට එක්වූයේ ටෙස්ට් තරගයක පළමු දිනයේ පළමු කාල සැසිය තුළ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.
තව ද එංගලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් සැක් ක්‍රව්ලි සහ බෙන් ඩකට් අතර ලකුණු 233ක සම්බන්ධතාවයක් ගොඩනැගුනේ පන්දුවාර 31ක් තුළදී ය.
එය ටෙස්ට් ඉතිහාසයේ වාර්තා වූ වේගවත්ම ද්විත්ව ශතක සම්බන්ධතාවයයි.
තව ද මෙහිදී සැක් ක්‍රව්ලි තම ශතකය වාර්තා කිරීමට පන්දු 86ක් වැයකර තිබූ අතර එය වාර්තා අතරට එක්වූයේ එංගලන්ත ආරම්භක පිතිකරුවකු වාර්තා කළ වේගවත් ම ටෙස්ට් ශතකය ලෙසිනි.